ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වෙමින් වුව ද මේ වන විට PSTA නමින් පෙර තිබූ පනතටත් වඩා භයානක මර්දන පනතක් සම්මත කරගන්නට සුදානමින් සිටින බවත්, එම පනත සමාජයට බරපතළ ලෙස බලපෑම් කරන පනතක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ නව ත්‍රස්ත පනත, හදිසි නීතිය ඇතුළු ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැදිහත්වීම් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (28 ) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ...
ආණ්ඩුවට එරෙහි විවේචන යටපත් කරන පනතක්
"දිට්වා ව්‍යසනයෙන් සමාජය ම හිරිවැටිලා ඉන්න වෙලාවක ජාතික ජන බලවේග ආණ්ඩුව නව මර්දන පනතක් සම්මත කරගන්න උත්සාහ කරනවා. අපි දන්නවා ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ආවෙ ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියන පොරොන්දුව එක්ක. හැබැයි දැන් PSTA නමින් කලින් තිබුණටත් වඩා භයානක මර්දන පනතක් තමයි මේ ගේන්න සූදානම් වෙලා ඉන්නේ. මේක ඉතාම බරපතළ ලෙස මේ සමාජයට බලපෑම් කරන්න ගෙනාව පනතක් කියලා හොඳටම පැහැදිලියි.
මේ අලුත් පනතට අනුව ආණ්ඩුවට යම් දෙයක් නොකර සිටීමට බලපෑම් කරනව නම් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට තමයි නම් වෙන්නේ. එහෙම බැලුවම කවුරුහරි ආණ්ඩුවට කිව්වොත් විනාශකාරී IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න කියලා එයාව ත්‍රස්තවාදියෙක් කියලා අත්අඩංගුවට ගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි පිටරටක ආණ්ඩුවකටවත් එහෙම යම් දෙයක් ගැන බලපෑම් කරන්න බෑ. මේකට අනුව කවුරුහරි කිව්වොත් ඉන්දියානු ආණ්ඩුවට වහාම ලංකාව එක්ක අත්සන් කරපු ගිවිසුම් අහෝසි කරන්න කියලා ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. එතකොට ඉතාම පැහැදිලියි මේ පනත ගෙනල්ලා තියෙන්නේ මේ රාජ්‍යය ආරක්ෂා කරන්න නෙවෙයි. ආණ්ඩුවට එරෙහි විවේචන යටපත් කරන්න තමයි මේ පනත අරගෙන එන්න ආණ්ඩුව සූදානම් වෙන්නේ.
නිතිපති සමග ඩීල් එකක්...?
මේ පනත අනුව රැඳවුම් නියෝග අත්සන් කිරීමේ බලය දීලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට. ආරක්ෂක ලේකම් කියන්නේ ජනතාවට වග කියන නියෝජිතයෙක් නෙවෙයි. ඔහු පත්වෙන්නේ දේශපානලන සම්බන්ධකම් එක්ක. එහෙම කෙනෙක්ට තමයි අධිකරණය සතු පුද්ගලයින් රඳවා තබා ගැනීමේ බලය දෙන්න යන්නේ. අනිත් එක තමයි මේකේ 56 වගන්තියට අනුව අත්අඩංගුවට ගත්ත පුද්ගලයට බලපෑම් කිරීමේ අයිතිය ලැබෙනවා නීතිපතිවරයාට. ඔහුට පුළුවන් අත්අඩංගුවේ ඉන්න පුද්ගලයට ගිහින් කියන්න ඔයා වැරද්ද පිළිගත්තොත් අවුරුදු දෙකක් පුනරුත්ථාපනය කරලා එළියට දානවා, වරද පිළි ගන්නෙ නැත්තම් ඔයාව අවුරුදු 10කට හිරේ දානවා කියලා බලපෑම් කරන්න පුළුවන්. එහෙම නැත්තම් මේකේ තියනවා සැකකරුට පුළුවන් නීතිපති එක්ක ඩීල් එහෙකට එන්න. ඊට පස්සෙ නීතිපති තීරණය කරනවා ඔහුට නඩු දාන්නෙ නෑ කියලා. එහෙම කරලා සැකකරු ගේ නඩුව අවුරුදු 20කට අත් හිටුවල ගෙදර එවනවා. මොනවද මේ නීති ?
නිවෙස් සෝදිසි කිරීමේ බලය හමුදාවට
මේ පනතේ 63 වගන්තිය අනුව ජනාධිපතිවරයාට පුළුවන් ඕනෑම සංවිධානයක් තහනම් කරන්න. එහෙම තහනම් කරන එකට කවුරුහරි විරුද්ධ වුණොත් ඒකත් ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. අනිත් පැත්තෙන් මේ පනත සම්මත වුණොත් විශේෂ තත්ත්වයක් නැතුව පවා හමුදාවට පුළුවන් ඕන ඕන විදිහට ගෙවල්වලට පැනලා සෝදිසි කරන්න. මෙච්චර කල් පොලීසිය පවා සෝදිසි කිරීමකට එන්න ඕන අධිකරණ අවසරයක් එක්ක. හැබැයි දැන් අධිකරණ අවසරයක් නැතුව ගෙවල්වලට පනින්න හමුදාවට බලය ලැබෙනවා.
Face book පෝස්ට් එකටත් හිරේ...
අනික් පැත්තෙන් පොලීසිවල ඉන්න OIC ට පුළුවන්කම ලැබෙනව ඕන කෙනෙක් ගෙ ජංගම දුරකතන, යවපු මැසේජ් ගත්ත කෝල් ඕන වෙලාවක පරීක්ෂා කරන්න. මේ පනතෙ කියන විදිහට නිලධාරියෙක් එහෙම ඉල්ලීමක් කළොත් අධිකරණයට බැහැ ඒක මගහරින්න. දැන් ආණ්ඩුව පහුගිය කාලේ ඩිජිටල් ඩිජිටල් කියාගෙන දැඟලුවේ මේකට තමයි. මේ හදන්නේ අපි යන්නේ කොහෙද සම්බන්ධකම් තියෙන්නේ කා එක්කද මේ ඔක්කොම ගැන හැමවෙලාවෙ ම සෝදිසියෙන් ඉන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ පනත සම්මත වුණොත් කවුරුහරි කෙනෙක් අහවල් දවසේ අහවල් වෙලාවට ගෝල්ෆෙස් එකේ උද්ඝෝෂණයක් තියනවා ඒකට එන්න කියලා Face book පෝස්ට් එකක් දැම්මොත් එයාව ත්‍රස්තවාදීයෙක් විදිහට අත්අඩංගුවට ගන්න පුළුවන්. අර පහුගිය කාලේ මේකට තමයි ඩිජිටල් ඩිජිටල් කියාගෙන ආණ්ඩුව දැඟලුවේ. නැත්තම් මේ මිනිස්සුන්ගේ ඩිජිටල් පහසුකම් දියුණු කරන්න ඇත්ත වුවමානාවක් ඔය කාටවත් නෑ. මොකද අපි දැක්කා ජනාධිපතිවරයා ගේ ඩිජිටල් උපදේශකයා කියා ගත්ත කෙනා ගේ ටෙලිෆෝන් සමාගමේ සිම් එකක්වත් පහුගිය ව්‍යසනය වෙලාවේ වැඩ කළේ නෑ. ඒ නිසා තමන් විපතට පත්වෙලා කියලා අදාළ බලධාරීන්ට දැනුවත් කරගන්නවත් විදිහක් නැතුව සිය ගාණක් මිනිස්සු මැරුණා. ඒවා ගැන මුකුත් කතාවක් නෑ ඒ උනාට මිනිස්සු ෆේස්බුක් දාන්නෙ මොනව ද කතාකරන්නේ කා එක්ක ද වගේ ඒව හොයන්න පනතකුත් අරගෙන ඇවිල්ලා.
''ඇයි මාව විස්වාස නැද්ද...?''
මේක ඉතාම බරපතළ තත්වයක්. අපි රටේ ජනතාවට කියනවා මේ පනත සම්මත කරන්න කිසිසේත්ම ඉඩ දෙන්න එපා කියලා. මොකද මීට කලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ගෙනාවේ මාස හයෙන් අහෝසි කරනවා කියලා. හැබැයි අදටත් ඒ පනත අහෝසි වෙලා නෑ. ඒ නිසා මේ පනතත් ඒ වගේ කතන්දර කියලා ගේන්න ආණ්ඩුව උත්සහ කරයි. මාව විස්වාස නැද්ද ආණ්ඩුව විස්වාස නැද්ද වගේ කතා කිය කිය මේ රටේ සමස්ත ජනතාවගේම කට බඳින්න තමයි මේ පනත අරගෙන එන්නේ. හැබැයි අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට ඒ මර්දනයට ඉඩ දෙන්න සූදානම් නෑ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා මේ ජනතාද්‍රෝහී පනත අහෝසි කරන්න වහාම මැදිහත් වෙමු කියලා."
සටහන - ජයසිරි අලවත්ත

