මාධ්‍යයේ කාර්යභාරය වෙන්නේ සිදුවන කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි - ලසන්ත අලගියවන්න

මාධ්‍යයේ කාර්යභාරය වෙන්නේ සිදුවන කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි - ලසන්ත අලගියවන්න

මාධ්‍යයේ කාර්යභාරය වන්නේ සිදුවන කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වන අතර, එය රජයට හෝ විපක්ෂයට අසාධාරණයක් ලෙස බැලීම වැරදියි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ලසන්ත අලගියවන්න...

ප්‍රජාතන්ත්‍රවාදී බහුතරය නොමැති පාලන ක්‍රමයක් පවත්වාගෙන යෑම අසීරුයි

''විශේෂයෙන්ම වර්තමානයේ රට තුළ ඇතිව තිබෙන මාධ්‍ය මර්දනය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ශ්‍රී ලංකාවේ සන්නිවේදන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රය පුළුල් කිරීමට ඉතිහාසයේ වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ රජයන් විසින්. නීතිමය රාමු සකස් කරමින් මාධ්‍ය නිදහස තහවුරු කර, අද පවතින ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා බහුතරයක් ආරම්භ කළේ එම කාලය තුළ යි. මාධ්‍යයේ කාර්යභාරය වන්නේ සිදුවන කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම යි. එය රජයට හෝ විපක්ෂයට අසාධාරණයක් ලෙස බැලීම වැරදියි. එහෙත් වර්තමානයේ හිරු, දෙරණ ඇතුළු මාධ්‍ය ආයතන හා සමාජ මාධ්‍ය පාලනය කිරීමට රජය උත්සාහ දරන බවට පෙනෙන ප්‍රකාශ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක්. එසේම, පළාත් පාලන ආයතන කිහිපයක සභාපතිවරුන් හා නගරාධිපතිවරුන් පත් කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදී බහුතරය නොමැති පාලන ක්‍රමයක් පවත්වාගෙන යා නොහැකි යි. එහි ප්‍රතිඵල අද පැහැදිලිව දැකිය හැකි යි.

විගණකාධිපතිවරයා වහාම පත් කරන්න.

පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කළ පළාත් පාලන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අවශ්‍ය විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා. අවසන් වශයෙන්, රටේ මූල්‍ය විනය තහවුරු කිරීමේ දී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය අතිශය වැදගත්. විගණකාධිපතිවරයෙක් ස්වාධීනව, නීතියට අනුව පත් නොකිරීම රටේ මූල්‍ය පාලනයට හා ජාත්‍යන්තර විශ්වාසයට දැඩි බලපෑමක්. ඒ පිළිබඳව රජය වහා අවධානය යොමු කළ යුතු යි.''

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක

ආණ්ඩුව, පොලිසිය යොදාගෙන මාධ්‍ය මර්දනයට උත්සාහ කරනවා

''වර්තමානයේ ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ ආර්ථිකය හා සමාජය බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ආර්ථික පීඩනය, ආපදා තත්ත්වයන් සහ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අතර මේ අභියෝගවලට සාර්ථක විසඳුම් ඉදිරිපත් කිරීමට රජයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බව පැහැදිලිව පෙනෙනවා. ඉතිහාසය පුරාවට තිස් වසරක යුද්ධය පැවති සමයේදීවත් මාධ්‍ය මර්දනය සඳහා පොලීසිය වැනි රජයේ නිල ආයතන භාවිතා කළ අවස්ථා අප දැක නැහැ. එහෙත් වර්තමානයේ දී මාධ්‍ය පාලනය කිරීමට එවැනි ආයතන භාවිතා කිරීමේ උත්සාහයක් පෙනී යාම ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි තර්ජනයක්. මෙම තත්ත්වය ගැඹුරින් සලකා බැලීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය මාධ්‍ය මර්දනයට එරෙහිව ක්‍රියාකාරීව මැදිහත් වීමට තීරණය කර තිබෙනවා. විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය ක්ෂේත්‍රවල නිදහස ආරක්ෂා කිරීමත්, මාධ්‍යවේදීන්ගේ ලේඛන හා භාෂණ නිදහස තහවුරු කිරීමත් සඳහා මාධ්‍ය ආයතන හා ස්වාධීන මාධ්‍ය සංවිධාන සමඟ එක්ව කටයුතු කරන බව පක්ෂය පැහැදිලිව සඳහන් කරනවා. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට විනය පරීක්ෂණ පවත්වා ඇති බවත්, මාධ්‍ය ආයතන වෙත තර්ජනාත්මක ලිපි හා නිවේදන නිකුත් කර ඇති බවත් වාර්තා වුණා. මෙය පොලිසිය යොදාගෙන මාධ්‍ය මර්දනයට උත්සාහ කරන ඉතිහාසයේ පළමු අවස්ථාවක් ලෙස අපි දකිනවා. ඉදිරියේදී මාධ්‍ය නිදහසට එරෙහිව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට විරුද්ධව සියලුම මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සහ මාධ්‍ය සංවිධාන සමඟ එක්ව ක්‍රියා කරන බව අපි අවධාරණය කරනවා. මේ අවස්ථාවේ ආණ්ඩුව කළ යුත්තේ ජනතාව මර්දනය කිරීම නොව, ජනතාවගේ සහයෝගය ලබාගෙන රට මුහුණ දෙන ආර්ථික හා සමාජ අභියෝගවලට විසඳුම් සෙවීමයි.

ඩග්ලස් දේවානන්දට ජීවිත තර්ජන

පෙර අවස්ථාවකදී ඩග්ලස් දේවානන්ද ව ඝාතන උත්සාහයක් සිදු වී ඇති බව අපි දන්නවා. එම හේතුවෙන් වර්තමානයේදීත් ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීම රජයටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවටත් විශාල වගකීමක් සහ යුතුකමක් බව අපි අවධාරණය කරනවා. ඔහුගේ ජීවිතය ආරක්ෂා කරමින් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තමයි අපේ ප්‍රධාන ඉල්ලීම.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න