සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය

සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය

පවතින අධිවේගී මාර්ග පද්ධතිය නඩත්තු කිරීම, එය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික ක්‍රම හඳුනාගැනීම සහ පිරිවැය අවම කිරීම සඳහා නවීන තාක්ෂණ භාවිතය අරමුණු කරගෙන සහස්යා ආයෝජන සමාගම පිහිටුවීමට 2020 ඔක්තෝබර් 12 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව, අදාළ අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් සහ කළමනාකරණ කටයුතු සහස්යා ආයෝජන සමාගම වෙත පැවරීම සඳහා කළමනාකරණ ගිවිසුමක් හරහා ක්‍රියාත්මක කිරීම පිණිස 2024 මාර්තු 25 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද ලබා දී තිබේ.

එහෙත්, සමාගම සංස්ථාපනය කළ දින සිට මේ දක්වා සහස්යා ආයෝජන සමාගම විසින් කිසිදු මෙහෙයුම් ක්‍රියාකාරකමක් ආරම්භ කර නොමැති අතර, එහි අරමුණු සමඟ අනුකූල වන කිසිදු කාර්යයක්ද සිදු කර නොමැති බව අනාවරණය වී ඇත.

ජාතික මාර්ග සහ අධිවේගී මාර්ග සැලසුම් කිරීම, නිර්මාණය කිරීම, ඉදි කිරීම සහ නඩත්තු කිරීම යන කටයුතු 1981 අංක 73 දරන මාර්ග සංවර්ධන අධිකාරිය පනත යටතේ මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ඇති අතර, එම වත්කම් කළමනාකරණය සඳහා අවශ්‍ය තාක්ෂණික විශේෂඥතාව, ආයතනික හැකියාව සහ දිගුකාලීන වත්කම් කළමනාකරණ දැක්ම එම ආයතනය සතු බවද පෙන්වා දී ඇත.

ඒ හේතුවෙන්, අධිවේගී මාර්ග ජාලය හා ඒ ආශ්‍රිත වත්කම්වල අයිතිය හෝ පාලනය සහස්යා ආයෝජන සමාගම වෙත පැවරීම, මාර්ග සංවර්ධන අධිකාරියට නීතිමය වශයෙන් හිමි අධිකාරිත්වය ඉක්මවා යාමක් විය හැකි බව හඳුනාගෙන ඇත.

මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින්, සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීම සහ අධිවේගී මාර්ග ජාලය, ඒ ආශ්‍රිත ඉඩම් සහ ඒ සම්බන්ධ අනෙකුත් කාර්යයන් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ වෙනම මෙහෙයුම් ඒකකයක් හරහා කළමනාකරණය කිරීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිවරයා සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

බලධාරීන් පවසන්නේ මෙම තීරණය මඟින් අධිවේගී මාර්ග පද්ධතියේ කාර්යක්ෂම කළමනාකරණය සහ රාජ්‍ය සම්පත් ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න