මත්තල ගුවන්තොටුපළ අපගමන බද්ද ඉවත් කිරීමේ ආරම්භය

මත්තල ගුවන්තොටුපළ අපගමන බද්ද ඉවත් කිරීමේ ආරම්භය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදෙස්ගත වන ගුවන් මගීන්ගෙන් අය කෙරුණු ඇමරිකානු ඩොලර් 60ක අපගමන බද්ද ඉවත් කිරීමේ තීරණය පළමුවරට ක්‍රියාත්මක වූයේ 2020 වසරේදී, එවකට රාජපක්ෂ පාලන සමයේ දී ලබාදුන් කැබිනට් අනුමැතියට අනුව බව වාර්තා වේ.

මෙම බදු සහනය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ, එවකට අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයක් මත වන අතර, කොවිඩ්–19 වසංගතය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්ව තිබූ සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රය නැවත සක්‍රීය කිරීම එහි ප්‍රධාන අරමුණ වී ඇත.

ඉතිහාස ගත අවස්ථාවක්

මත්තල ගුවන්තොටුපළ සජීවී කිරීමේ අරමුණින්, විශේෂයෙන් යුක්රේනය ඇතුළු නැගෙනහිර යුරෝපීය රටවල් වෙතින් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා, 2020 සැප්තැම්බර් 09 දින හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග විසින් විශේෂ යොජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, එම යොජනා අතර මත්තල ගුවන් තොටුපළේ අපගමන බද්ද ඉවත් කිරීම ද ඇතුළත් වී තිබේ. එම අනුමැතියට අනුව, 2020 දෙසැම්බර් 28 දින සිට මෙම බදු සහනය ක්‍රියාත්මක කර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් හරහා අපගමන බද්ද ඉවත් කළ පළමු අවස්ථාව ලෙස සැලකේ. මෙම තීරණයේ ප්‍රතිඵලයක් ලෙස, පසුගිය වසර පහක කාලය තුළ මත්තල ගුවන්තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් මගීන් දෙලක්ෂ පනස්දහසකට අධික පිරිසක්, ඩොලර් 60ක අපගමන බද්ද ගෙවීමෙන් නිදහස් වී ඇත. මෙම සහනය මුලින්ම යුක්රේනයෙන් සිට Ukraine International Airlines සහ SkyUp Airlines හරහා පැමිණි සංචාරකයන් සඳහා ක්‍රියාත්මක කර තිබේ.

රටට ඇමරිකානු ඩොලර් මිලියන 300ක්...

සංචාරක අංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම බදු සහනය හේතුවෙන් මත්තල ගුවන්තොටුපළ හරහා ලක්ෂ දෙකකට අධික සංචාරකයන් රටට පැමිණ ඇති අතර, එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 300කට ආසන්න විදේශ විනිමය ආදායමක් රටට ලැබී ඇති බවයි. මුල් අනුමැතිය 2020 දෙසැම්බර් 28 සිට වසර දෙකක කාලයක් සඳහා වලංගු වූ අතර, පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සමයේ දී අංක 2309/37 දරන විශේෂ ගැසට් පත්‍රයක් මඟින් එය 2024 දෙසැම්බර් 28 දක්වා දීර්ඝ කර ඇත. ඊට පසුව, 2024 ඔක්තෝබර් මාසයේ දී උදයාංග වීරතුංග විසින් සිදුකරන ලද ලිඛිත ඉල්ලීම් මත, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ උපදෙස් අනුව, මෙම බදු සහනය 2025 දෙසැම්බර් 28 දක්වා තවත් වසරකට දීර්ඝ කර ඇත. එසේම, 2025 දෙසැම්බර් 29 සිට ඉදිරියට මාස හයක කාලයක් සඳහා මෙම බදු සහනය දීර්ඝ කරන බවට මුදල් අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද වාර්තා වේ.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, පසුකාලීනව විවිධ රජයන් විසින් මෙම සහනයට දීර්ඝ කාලීන අනුමැති ලබා දී තිබුණ ද, මත්තල ගුවන්තොටුපළේ අපගමන බද්ද ඉවත් කිරීමේ මුල් යෝජනාව සහ පළමු ක්‍රියාත්මක කිරීම 2020 වසරේ රාජපක්ෂ පාලන සමයේදී සිදු වූ බවයි.

 

උදයාංග වීරතුංග

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න