ඊයේ ගාල්ලේ මොකද වුණේ...?

ඊයේ ගාල්ලේ මොකද වුණේ...?

ඊයේ (30) ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීම පැවති අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරු, නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට විරෝධය පළ කිරීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් මතුවිය.

පසුව විපක්ෂ මන්ත්‍රීවරු, නාගරික ලේකම්වරිය ඇතුළු කාර්ය මණ්ඩලයට ජල ප්‍රහාර­යක් එල්ල කිරී­ම නිසා ඔවුහු සභා ගැබෙන් ඉවත්ව ගියහ.

ලේකම්වරිය බොරු කිව්වා ද...?

සභාවේ ගාලගෝට්ටිය මැද ජාතික ජන බලවේගයේ නගරාධිපති සුනිල් ගමගේ එදිනට නියමිත සභාවේ ඉදිරි කටයුතු කරගෙන ගියේය. නගරාධිපති සුනිල් ගමගේ විසින් සභාව ආරම්භ කිරීමත් සමගම නැගී සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියෝ අයවැය දෙවන වර ඡන්ද විමසීමදී විරෝධය පළ කළහ. සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙක් අයවැයට විරුද්ධ බවට ඡන්දය වාචිකව ප්‍රකාශ කළහ. නමුත් සභාවේ ලේකම්වරිය එම මන්ත්‍රීවරුන් හතර දෙනා අයවැයට පක්ෂ බව සඳහන් කර එම ලේඛනය ඉදිරිපත් කර අයවැය වැඩි ඡන්දයෙන් සම්මත කළා යැයි විරෝධය පළ කරමින් සභාවේ කලහකාරීව හැසිරෙන්නට වූහ.

''අපේ ඡන්දේ හොරා කාපු නගරාධිපති අපට එපා, හොර ලේකම් අපට එපා. අපේ ඡන්දෙ හොරා කාපු හොර නඩයම අපට එපා'' යනාදි විවිධ සටන් පාඨ කියමින් විපක්ෂ මන්ත්‍රීවරු සභා ගර්භය මැදට පැමිණ දිගින් දිගටම නගරාධිපතිවරයා ගේ කතාවට බාධා කරමින් විරෝධතාව පළ කළහ.

නගර සභා කාර්ය මණ්ඩලයට ජල ප්‍රහාර

සභාවේ කාර්ය මණ්ඩලය වට කළ විපක්ෂ මන්ත්‍රීවරුන් කාර්ය මණ්ඩලයට වතුර ගැසූ අතර ඒ සමග ම නාගරික ලේකම්වරිය ඇතුළු කාර්ය මණ්ඩලය සභාවෙන් පිටවී ගියහ. එම අවස්ථාවේ සභාව පැය භාගයකට කල් තැබූ නගරාධිපතිවරයා සභාව කාරක සභාවක් බවට පත් කළේය.

ඉන් පසුව නගරාධිපති සුනිල් ගමගේ ගේ ප්‍රධානත්­යෙන් සභාව රැස්විය. නාගරික ලේකම්වරිය අසනීප වී නිවාඩු ගෙන පිටත්ව ගොස් තිබූ බැවින් නියෝජ්‍ය කොමසාරිස් නදීකා ප්‍රබෝදනී සභා කටයුතු වාර්තා කිරීමට පැමිණ සිටියාය. එම අවස්ථාවේ විපක්ෂයේ සියලු මන්ත්‍රිවරු විරෝධය පාමින් සභා ගැබෙන් පිටවූහ. උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිස් කණ්ඩායමක් ද කැඳවා තිබිණි.

 

ගාල්ල උතුර සමූහ – දික්වැල්ලේ තිලකරත්න,

දකුණු පළාත් සංචාරක එස්. දීයගහගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න