හෙට සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ලංකාසෙක්‍යු අංශය, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව වෙත පැවරීම සිදු කරන බව ද මහ බැංකුව කියයි.
රාජ්‍ය ණය කළමනා කරණ කාර්යාලය, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනා කරණ පනතට අනුව, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ස්ථාපිත කළේ ය.
සම්පුර්ණ වගකීම රාජ්‍ය ණය කළමනා කරණ කාර්යාලය වෙත
2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිට මෙම කාර්යාලය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් සිදු කරන ලද සියලු ම කාර්යයන්හි සම්පුර්ණ වගකීම රාජ්‍ය ණය කළමනා කරණ කාර්යාලය වෙත පැවරේ. මෙම වගකීම් පවරා දීම සිදු කර ඇත්තේ ආයතනික වගවීම ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ රාජ්‍යණය කළමනා කරණ රාමුවේ කාර්යක්ෂමතාව හා විනිවිද භාවය වැඩි දියුණු කිරීමේ අරමුණෙනි.
රාජ්‍ය ණය කළමනා කරණ පනතේ සහ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අදාළ විධි විධානවලට අනුව, හෙට (ජනවාරි 01 වන දින) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රාජ්‍ය සුරකුම්පත් හි ලේඛකාධිකාරි ලෙස පත් කර ඇති අතර, රාජ්‍ය සුරැකුම්පත් සඳහා වූ නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතිය සහ රාජ්‍ය සුරැකුම්පත් සඳහා වූ මධ්‍යම තැන්පතු පද්ධතිය ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇතැයි ද මහ බැංකුව පවසයි .
ජේ. මුණසිංහ

