BBCයෙන් මාධ්‍යවේදී අසාම් අමීන්ට මිලියන 7ක වන්දියක්

BBCයෙන් මාධ්‍යවේදී අසාම් අමීන්ට මිලියන 7ක වන්දියක්

මෙරට කම්කරු නීති උල්ලංඝණය කිරීම හේතුවෙන්, BBC ආයතනයේ සේවය කළ හිටපු මාධ්‍යවේදී අසාම් අමීන් හට රුපියල් මිලියන 7කට ආසන්න සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ අධිභාර මුදල් ගෙවීමට පියවර ගෙන තිබේ.

කොළඹ කම්කරු කාර්යාලය නිකුත් කළ නියෝගයක් අනුව, අසාම් අමීන් එම ආයතනයේ සේවය කළ කාලසීමාව තුළ අදාළ සේවක අර්ථසාධක මුදල් BBC විසින් නිසි ලෙස ප්‍රේෂණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට රුපියල් 6,913,233ක මුදලක් BBC ආයතනය විසින් ගෙවනු ලැබ තිබේ.

මෙම ගෙවීම සිදුකර ඇත්තේ අසාම් අමීන් සේවයෙන් ඉවත් කිරීම අසාධාරණ බවට මීට පෙර කම්කරු විනිශ්චය සභාව ලබා දුන් තීන්දුවකට අනුවය.

එම නඩු තීන්දුව මගින් ඔහුට රුපියල් මිලියන 4.5ක වන්දියක් ගෙවන ලෙස ද මීට පෙර නියෝග කර තිබුණි.

ඒ අනුව, මේවන විට BBC සේවය මාධ්‍යවේදී අසාම් අමීන්ට රුපියල් මිලියන 12කට ආසන්න මුදලක් ගෙවීමට කටයුතු කර තිබේ.

2024 අප්‍රේල් 26 වැනි දින ලබා දුන් එම තීන්දුව මගින් කම්කරු විනිශ්චය සභාව පෙන්වා දුන්නේ, අසාම් අමීන්ගේ සේවා ගිවිසුම කාලයට පෙර සේවය අවසන් කිරීමට BBC සේවය ගත් තීරණය අතාර්කික සහ සාධාරණීකරණය කළ නොහැකි එකක් බවයි.

එසේම බීබීසී ආයතනයේ නියෝජිතයෙකු වූ ඉයන් හැඩෝ (Iain Haddow) ගේ හැසිරීම අත්තනෝමතික බව ද එහිදී සඳහන් විය.

මේ අතර, පසුගිය මාසයේදී තවත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයකට එරෙහිව පැවති නඩුවකදී, රොයිටර් (Reuters) ආයතනය ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

ඒ, මාධ්‍යවේදී රංග ශ්‍රීලාල් හට හිමි විය යුතු රුපියල් මිලියන 6.2ක හිඟ EPF, පාරිතෝෂික සහ අධිභාර ගෙවීමට පනවා තිබූ නියෝගයක් අත්හිටුවන ලෙස ඉල්ලමින් Reuters ආයතනය ඉදිරිපත් කළ නඩුවක් විමසීමෙන්.

එහිදී අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා තීන්දු කළේ මෙම පෙත්සම අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කිරීමක් බවයි. ඒ අනුව මාධ්‍යවේදී රංග ශ්‍රීලාල් හට නීතිමය ගාස්තු ලෙස රුපියල් 100,000ක මුදලක් ගෙවන ලෙස ද රොයිටර් ආයතනයට නියෝග කෙරිණි.

(newsfirst)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න