සිය නම මතභේදාත්මක ඖෂධයක් ආනයනය කිරීම හා සම්බන්ධ කරමින් ධර්මශ්‍රී කාරියවසම් සිය යූ ටියුබ් නාලිකාවේ අසත්‍ය ප්‍රචාර පතුරුවා හැර මහජන කැළඹීමක් ඇති කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ධර්මශ්‍රී කාරියවසම්ගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමුකර තිබේ.
අමාත්‍ය නලින්ද ජයතිස්සගේ නීති කණ්ඩායම හරහා නිකුත් කරන ලද එන්තරවාසියේ දැක්වෙන්නේ ඉන්දියාවේ මාන් ෆාමසියුටිකල් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරන ලද ඔන්ඩන්සෙට්‍රොන් ඉන්ජෙක්ෂන් ඇතුළු ඖෂධ දහයක් සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත්, සංකූලතා වාර්තාවීමෙන් පසු මෙම ඖෂධය ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් මෑතකදී අත්හිටවනු ලැබූ බවත්ය.
එසේ තිබියදීත්, ධර්මශ්‍රී කාරියවසම් තම යූ ටියුබ් නාලිකාව හරහා “ජීවිත බිලිගත් ඉන්දියානු ඖෂධයේ සැඟවුණු කතාව, නගරාධිපති බල්තසාර්ගේ ඥාතියා සහ අමාත්‍ය නලින්දගේ ආවරණය” යන මාතෘකාව යටතේ වැඩසටහනක් ප්‍රකාශයට පත් කර ඇති බව නීතිඥවරුන් පෙන්වා දෙයි.
මෙම වැඩසටහන මගින් ඖෂධය ආනයනය කිරීම, සැපයුම්කරු සමඟ කුමන්ත්‍රණය කිරීම සහ ගැටලුව සැඟවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ජයතිස්ස සෘජුවම වගකිව යුතු බව නිරූපණය කර ඇති බව එම නීතිඥයින් සලකුණු කරයි.
මෙම ප්‍රකාශ අසත්‍ය, අපහාසාත්මක සහ ඔහුගේ කීර්තිනාමයට හානි කරන බව අමාත්‍යවරයාගේ නීතිඥවරු අවධාරණය කරති.
මෙම වැඩසටහන PTC මෙඩිකල් අධ්‍යක්ෂවරුන් සහ කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර්ගේ පවුල අතර සම්බන්ධතා ඇති බවට ද චෝදනා කර ඇති අතර, එමඟින් දේශපාලනික අනුග්‍රහයක් පවතින බව පෙන්නුම් කර ඇති ආකාරය ද පෙන්වා දී තිබේ.
මෙය සාහසික බොරුවක් බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් දන්වා තිබේ.
ඒ අනුව ධර්මශ්‍රි කාරියවසම් වෙත යොමු කර ඇති එන්තරවාසියේ අන්තර්ගත ප්‍රධාන ඉල්ලීම තමන්ට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙස දැන්වීමය.
දෙවැන්න මේ ද්වේශ සහගත සාවද්‍ය ප්‍රකාශය වහාම ඉල්ලා අස්කරගැනීමය. එම ප්‍රකාශ තවදුරටත් ප්‍රචාරය කිරීම නැවැත්වීමය.
තෙවනුව සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටීමය.
නියමිත කාලය තුළ මෙම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම්, සිවිල් නඩුවක් ගොනු කර නීතිමය පියවර ගන්නා බව ඇමතිවරයාගේ නීතිඥවරුන් මගින් දැනුම් දී ඇත.
රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන අමාත්‍ය නලින්ද ජයතිස්ස මින් පෙරදී ද අවධාරණය කර තිබුණේ දේශපාලන විරුද්ධවාදීන් හෝ වෙනත් පුද්ගලයන් විසින් පදනම් විරහිත චෝදනා සහ අසත්‍ය තොරතුරු සමාජගත කරන විට, ඒවාට එරෙහිව නිහඬව නොසිට නීතිමය පියවර ගන්නා බවය.
(lankasara)

