ආණ්ඩුව, විදුලි බිල 11.57%කින් වැඩි කරන්න හදනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ආණ්ඩුව, විදුලි බිල 11.57%කින් වැඩි කරන්න හදනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් රජය බලයට පත් වූයේ 'පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය' කරනවා යන පොරොන්දු පත්‍රිකාව මත වුව ද මේ වන විට වත්මන් රජය පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා වෙනුවට දුප්පත් රටක් දුප්පත් ජීවිතයක් නිර්මාණය කරමින්, විදුලි බිල වැඩි කිරීමකට පවා මුල පුරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ආණ්ඩුව ජන වරම පාවා දීලා

''වත්මන් රජයේ සාමාජිකයන් එදා විපක්ෂයේ ක්‍රියාකාරීන් ලෙස සෑම වේදිකාවක ම පාහේ රු. 9000 බිල 6000ත් රු. 3000 බිල රු. 2000 දක්වා 33%කින් විදුලි බිල අඩු කරන බව පැවසුවා. මොවුන් බලයට පත් වු පසු වේදිකාවේ වූ පොරොන්දු අමතක කර අද හෙටම 11.57%කින් විදුලි බිල වැඩි කරන්න සැලසුම් කරමින් මොවුන් ලැබූ ජන වරම පාවා දෙමින් යනවා. එදා දශලක්ෂ ගණනින් ඡන්දය දී මෙරට ජනතාව වත්මන් රජය පත් කර ගත්තේ විදුලි බිල අඩු කරනවා කියපු නිසා. ජනාධිපතිවරයා පැහැදිලිව ම ප්‍රසිද්ධියේ ම මේ බව ප්‍රකාශ කර සිටියත් අද ජනතාවගේ කරපිටින් බලයට පැමිණ, ජනතාව දුන් ජන වරම පාවා දෙන්නේ ඇයි...? රජය මෙරට විදුලි පාරිභෝගිකයන්ගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය කරලා. විදුලි පාරිභෝගිකයන්ට දුන් බලාපොරොත්තු හා ඒ හරහා ලබා ගත් ජනවර ම සහමුලින්ම උල්ලංඝනය කරලා. බොරුව, රැවටිල්ල, මුසාව, මුළාව සහ පොරොන්දු කඩ කිරිම තුළ විදුලි පාරිභෝගිකයා අන්ත අසරණ කරලා.

මේ වැරදි ක්‍රියාවෙන් වැළකී සිටින්න

එදා වේදිකාවක් වේදිකාවක් පාවා IMF ගිවිසුමේ කොන්දේසි ජනතාවට හිතකර ආකාරයට වෙනස් කර ගන්නවා යැයි කියපු ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණ, ජනතාව මත අසීමිත අසහනයක් පීඩනයක් පටවන IMF කොන්දේසි හා ගිවිසුම් එලෙස ම ක්‍රියාත්මක කරනවා. දිට්වා සුළි කුණාටුව නිසා දශලක්ෂ ගණනින් ජනතාව: විපතට, ආපදාවට, පීඩනයට ලක් වුවත් රජය ඒවා තැකීමකින් තොරව විදුලි බිල වැඩි කරන්න සූදානම් වෙනවා. මෙය ලබාගත් ජනවරම පාවා දෙන වැරදි ක්‍රියාවක් නිසා මේ වැරදි ක්‍රියාවෙන් වැළකී සිටින ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. විදුලි බිල වැඩි කරනවා වෙනුවට 33%කින් විදුලි බිල අඩු කර වේදිකාව මත දුන් පොරොන්දු ඉටු කරන්න. ජනතාවගේ ජන වරම මේ ආකාරයෙන් උල්ලංඝනය කරන රජයට විරුද්ධව පෙළ ගැසිය යුතු යි. මෙවන් ජනතා විරෝධී ක්‍රියා හරහා ජනතාව ගේ කර පිට අසීමිත පීඩනයක් පැටවීම තර‌යේ හෙළා දකිනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න