විදුලි බල මණ්ඩලයේ දූෂණය විමර්ශනය නොකිරීම හොරකම් නොකරන ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තියකි. වර්තමාන රජය සොරකම යටපත් කළ යුතු නොවේ.
ඔබ දන්නවා ද ලංකා විදුලි බල බණ්ඩලය සම්බන්ධයෙන් විවිධ කෝප් වාර්තා මෙන් ම විගණකාධිපති වාර්තා හරහා හෙළිකර ඇති කරුණු අනුව 1994 සිට දූෂණය අවපාලනය ආදිය නිසා ලංවිම බරපතළ විනාශයට පත් කළ ආයතනයක් බව...?
ආණ්ඩු වගකීම් පැහැර හැරියා ද...?
පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 1969 අංක 17 දරන පනත මගින් විදුලිය බල මණ්ඩලය ස්ථාපනය කර ඇත. ඉන් පසුව 1994 වර්ෂය දක්වා: ජනතාවට සහන මිළට විදුලිය සපයා දෙමින් ලංවිම සිය ගිණුමේ පවා දිගින් දිගටම අතිරික්තයක් පවත්වා ගැනීම සිදූ කළ බවත්, ඉන් පසුව බැංකු ණය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් පාඩු පියවා ගැනීම සඳහා රාජ්‍ය මූදල් ආදිය ලබාගනිමින් ලංවිම විනාශයට යැවු බවත්, එය වර්තමාන විදුලි බල ඇමති පවසන ආකාරයට ම විදුලි ඇමති, අමාත්‍ය මණ්ඩලය, J. R. ජයවර්ධන සඳහන් කළ ආකාරයට සර්ව බලධාරී ජනාධිපතිවරයා ද, පසුගිය දශක ගණනාවක් තිස්සෙ කටයතු කළේ ද විදුලි බල මණ්ඩලයේ අවශ්‍යතාව මත නම් ජනතාව විසින් පත් කළා යැයි කියන ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක්, අමාත්‍ය මණ්ඩලයක අවශ්‍යතාවය කුමක්ද?
2007 නිකුත් කළ කෝප් වාර්තාවක සෘජුව ම සඳහන් කරන්නේ අමාත්‍යවරු ලේකම්වරු තම තමන් ගේ වගකීම් පැහැර හැරි බවකි. විවිධ විගණන ආදී වාර්තා ගණනාවක සඳහන් කර තිබෙන්නේ ද එවැනි චෝදනා බව සදහන් කළ යුතුවේ. එබැවින් 1990 දශකයේ සිට ජනාධිපතිවරු අමාත්‍ය මණ්ඩලය සහ ලේකම්වරු කටයුතු කළේ විදුලි බල මණිඩලයේ දූෂණයට සහ අවපාලනයට ඉණිමං සපයා දීම පිණිස බව කිව ය. සියලුම ආණ්ඩුවල වගකීම් මුළුමනින්ම පැහැර හරිමින් ඔවුන් වගකීම් විරහිත ආකාරයට කටයුතු කළ බව සඳහන් කළ යුතුවේ.
ආණ්ඩුව සොරකම් නොකළාට...
විදූලි බල ලේකම්වරයකු පවා වරෙක සඳහන් කර ඇත්තේ විදුලි බල මණ්ඩලය දූෂිත බව ඔහු පිළිගන්නා බවයි. ඒ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි මා සතුව ඇත. චන්ද්‍රිකා ආණ්ඩුවේ එවකට විදුලි බල ඇමතිවරයා වශයෙන් කටයුතු කළ අනුරුද්ධ රත්වත්තේ සමයේ සිට සියලු ම ඇමතිවරු සහ වර්තමාන ආණ්ඩුව පවා කටයුතු කරන්නේ දූෂණය යටපත් කරමින් ද? එවකට ලංකාවට පැමිණි අන්තර්ජාතික අරමුදලේ රැස්වීමකට සහභාගිවෙමින් චන්ද්‍රිකා පැවසූයේ ලංකාවේ ලොකුම හොරා ඇයගේ කැබිනෙට්ටුවේ සාමාජිකයෙකු බවයි. ලංකාවේ අප මුහුණ දෙන බරපතළම ඛේදවාචකය නම් එදා සිට අද දක්වා සියලු ම ආණ්ඩු කටයුතු කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ දූෂණ, වංචාව, අකාර්යක්ෂමතාවය හා නාස්තිය අවනීතික ලෙස යටපත් කරමින් බව සඳහන් කළ යුතුව ඇත. දූෂණය හා අවපාලනය යටපත් කරමින් සිදු වන්නේ කුමක් ද? ඒ සම්බන්ධයෙන් මා විශ්වාස කරන්නේ වර්තමාන රජයේ ජනාධිපතිවරයා ඇතුළු සියල්ලෝ ම ඔවුන් "සොරකම් නොකරන" ආණ්ඩුවක් තැනූ බවයි. එය සත්‍යයක් නොවන්නේ ය. මන් ද සොරකම් යටපත් කරන ආණ්ඩුවක් යනු සොරුන් නිදහස් කිරීමකි; ඔවුන්ට එරෙහි චෝදනා පවා යටපත් කිරීමකි. එවැනි ආණ්ඩුවක් ද කරන්නේ සොර කමකි.
රාජ්‍ය සම්පත් අපයෝජනය
ලංකා විදුලිබල මණ්ඩලයේ අලාභය පියවා ගැනීම සඳහා 1990 දශකයේ සිට 2023 දක්වා රාජ්‍ය භාණ්ඩාගාරය විසින් අවශ්‍ය අරමුදල් සපයා දෙන ලදී. රාජ්‍ය භාණ්ඩාගාර විසින් ජනතාව ගේ බදු මුදල් එසේ සපයා දීම රාජ්‍ය සම්පත් අපයෝජනයකි; විනාශ කිරීමකි; මෙය දූෂිත දේශපාලකයන් විසින් අවපාලනයට හා දූෂණයට පාර කැපීමකි. විදුලි බල ඇමතිවරයා, ජනාධිපතිවරයා ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලය ද සිදු කරන්නේ ඊට නොදෙවෙනි බරපතළ වරදකි. ඇත්තට ම ඔවුන් කළ යුතු වන්නේ ඒවා විමර්ශනය කර එම නිර්දේශ මත කටයුතු කටයුතු කිරීම ය. ඒ සඳහා අනිවාර්යයෙන් ම ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ යුතු ය. එසේ ජනතා මුදල් අලාභ පියවා ගැනීම සදහා සියළු ආණ්ඩූ ලබා දුන්නේ වගකීම් විරහිත ආකාරයෙන් තම යුතුකම හා වගකීම පැහැර හරිමිනි. ඒ බව සඳහන් කිරීමට මම මැලි නොවෙමි. මේ සියල්ල විමර්ශනය කළ යූතු යැයි මම නැවතත් අවධාරණය කරමි.
ආණ්ඩුව, දූෂණ වංචා යටපත් කරනවා ද...?
ලංවිම අධිකරණය විසින් ලබාදුන් තීන්දු පවා නොසලකා හරිමින් කටයුතු කළ බව විවිධ වාර්තාවල සඳහන්වේ. කෝප් කමිටුවේ නිර්දේශ පවා නොතකා හරිමින් ද කටයුතු කළ බව වාර්තා වී තිබේ. රාජ්‍ය ආයතනයක එවැනි කටයුතු අනුමත කළ හැකි ද...? ඒ අනුව මා දකින්නේ මුළු මහත් කැබිනට් මණ්ඩලය ම අතීතයේ සිට මේ සියල්ල නොදුටු ඇස්වලින් මෙන් නොඇසූ කන්වලින් සිටියේ ලංකා විදුලි මණ්ඩලයේ දූෂණ යටපත් කිරීම සදහා නොවේ ද? එසේ ම අතීතයේ ද විදුලිය ඇමතුවරුන් සහ ලේකම්වරුන් දූෂණය වංචාව අවපාලන ආදියට එරෙහිව කටයුතු කළේ නැත. ඒවා දැන්වත් විමර්ශනය කළ යුතු ය. එසේ නොකරන්නේ නම් සොරකම් නොකරන ආණ්ඩුව කරන්නේ කුමක් ද? සියලු දූෂණ වංචා යනාදිය යටපත් කිරීමකි.
දූෂිත දේශපාළුවන් ගේ නොපණත්කම්
2014 වර්ෂයේ දී මැතිවරණයක් ඉලක්ක කරගනිමින් විදුලිය බිල පහත හෙළීම සිදු කළේ ද කුප්‍රකට ආකාරයෙනි. එදා ජනාධිපතිවරයා පැවසුවේ ලංකාවේ ඒ වන විට විදුලිය අර්බුදය විසඳා ඇති බවයි. එය පැවසුවේ නොරොච්චෝලේ බලාගාරය විවෘත කරමින්ය. මෙය සත්‍යය නොවේ. ඉන්පසුව 2022 වසරේ දී රට බංකොලොත් බවට පත්වී රටෙහි අර්බුද සියල්ල හමුවේ ලංවිම සියට හැට හයක (66%) මිළ ඉහළ දැමීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ වන විට මහා භාණ්ඩාගාරය පවසා ඇත්තේ තවදුරටත් අලාභ පියවීම සඳහා අරමුදල් රාජ්‍ය මහා භාණ්ඩාගාරය විසින් සපයා දීම නොකළ හැකි බවය. එසේ පැවසුවේ ආර්ථික අර්බුදය හමුවේ ය. 2023 ජනවාරි මස 09 වැනිදා අමාත්‍ය මණ්ඩලයේ එළැඹි තීරණයක් අනුව විදුලිය පාරිභෝගිකයන්ට විදුලිය සැපයිය යුතු වන්නේ නිෂ්පාදන වියදම සලකා බලා ඒ මිල ගණන් අනුව බවත් එසේ නොවන්නේ නම් තවදුරටත් විදුලිය (24×7) සැපයිය නොහැකි බව පැවසී ය. එසේ සිදූ කළේ දූෂණය යටපත් කර දූෂණයේ බර ජනතාව මත පටවමිනි. අදටත් කරන්නේ එවැනි කටයුත්තක් ද? මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම නිර්මාණය කළේ දූෂිත දේශපාලකයන් විසින් බව සඳහන් කළ යුතු ය.
අනුර කුමාර ජනාධිපතිවරයා කොළඹ මහ නගර සභාවේ දූෂණය වංචාව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. එය අගය කළ යූතූය. මා යෝජනා කරන්නේ දූෂිත පරිපාලනය තුළින් විදුලිය අර්බුදයක් නිර්මාණය කරමින් සමස්ත ජනතාව ම පීඩාවට පත් කළ පසුගිය ආණ්ඩු කටයුතු කළ ආකාරය සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවයි. මන් ද දූෂණයට එරෙහි පත් කළ වර්තමාන ආණ්ඩුව දූෂණය යටපත් කළ යුතූ නොවේ.

Lacille de Silva

