2025 ජනවාරි මස ආරම්භ කළ Clean Sri Lanka ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම සුදු අලියෙක් බවත්, එම ව්‍යාපාතිය වෙනුවෙන් මකට අවම වැය කරන්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (06) පැවති මහජන හඩ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සූගීෂ්වර බණ්ඩාර...
රාජ්‍ය දේපළ විශාල ලෙස අවභාවිත කරලා
''මේ ආණ්ඩුවේ පළමු ව්‍යාපෘතිය ලෙස 2025 ජනවාරි මස ආරම්භ කළ Clean Sri Lanka ව්‍යාපෘතියේ ආරම්භක දින පැමිණි පිරිස වෙනුවෙන් කෑම සදහා පමණක් මිලියන 3.8 ක් වියදම් කරලා තියෙනවා. මේ වනවිට අවුරුද්දක් ගෙවිලා අවසන්. අපි අහන්න කැමති අනුර කුමාර ජනාධිපති ඇතුළු මේ ආණ්ඩුවෙන් Clean Sri Lanka ව්‍යාපෘතිය තුලින් මොකක්ද රටට වුණ සුබසෙත. මේ වනවිට Clean Sri Lanka ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය සේවකයින් 118 ක් ජනාධිපති කාර්යාලය අනුබද්ධ ආයතනයකට අනුයුක්ත කරලා තියෙනවා. මේ 118 දෙනා අතර අධ්‍යක්ෂකවරු, සම්බන්ධීකරන ලේකම් වරු, කාර්යාල කාර්ය සහයකවරු, ලිපිකරුවො ඉන්නවා. අවුරුද්දක් පුරාවට රජයේ වාහන 21ක් මේ සඳහා අනුයුක්ත කරලා තියෙනවා. මේ අනුව රාජ්‍ය නිළධාරින් 118 දෙනෙක් තියාගෙන රජයේ වාහන 21 ක් තියාගෙන මේ Clean Sri Lanka ව්‍යාපෘතිය හරහා රටට සිදු කරපු කාර්ය මොකක්ද කියලා අපි ජනාධිපතිතුමාගෙන් අහන්න කැමතියි. මේ ලෙස ජනාධිපතිතුමා ගේ පළමු ව්‍යාපෘතිය හරහා රාජ්‍ය දේපළ විශාල ලෙස අවභාවිතා වෙලා තියෙනවා.
අපි අනාගතයේ දී රටට සිදු වූ පාඩුව හෙළි කරනවා
ඔබ හිතන්න සාමාන්‍ය රාජ්‍ය සේවකයකුගේ වැටුප රු 100,000 ක් ලෙස ගණන් බැලුවොත් මේ සඳහා රු. එක්කොටි දස අට ලක්ෂයක් යනවා වැටුප් සඳහා පමණක්. වාහනවල ඉන්ධන හා අනිකුත් නඩත්තු සඳහා ගතහොත් මාසයකට කෝටි දෙකකට ආසන්න මුදලක් වියදම් වෙනවා. මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම සුදු අලියෙක්. අපි දැක්කේ නෑ මේ ව්‍යාපෘතියෙන් රටට කිසි ප්‍රගතියක් සිදු වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමන්ට හා ආණ්ඩුවට අපි කියනවා ඉදිරියේ අපේ එන ආණ්ඩුවක් යටතේ මෙවැනි නාස්තිකාර, තමන්ගේ පක්ෂයේ ව්‍යාප්තිය සඳහා පිහිටවපු මෙවැනි ව්‍යාපෘතිය සඳහා අපි අනිවාර්යයෙන් ම අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරනවා වගේ ම මේ නිසා රටට සිදු වු පාඩුව හෙළි කරනවා. ඒ නිසා මේ අවුරුද්ද තුල දී ඔබ විසින් සිදු කළ කාර්යන් අපිට කියන්න කියලා අපි ඉල්ලනවා.
ආණ්ඩුවේ මාධ්‍යවලට මහජනතාව ගේ බදු මුදල්
ඊලග දෙවන ව්‍යාපෘතිය තමයි "රටම එකට "ජාතික මෙහෙයුම. අපි දැක්කා මේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම හා පතාලය පාලනය කිරීම සඳහා මහා දැවැන්ත උත්සවයක් කළා. එහිදි ඉල්ලලා තියෙනවා මාධ්‍ය සඳහා වියදම් කළ මුදල් පිළිබඳව 2025 දෙසැම්බර් 08 වන දින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිතුමාට ලිපියක් එවලා තියෙනවා. එහි දි කියනවා දෙසැම්බර් මාසයේ 06 හා 07 රටම එකට මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ වැඩසටහන දිට්වා අපදා තත්වය නිසා පවත්වන්න බැරි වුනා. හැබැයි රජයේ මාධ්‍ය හරහා මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මෙය ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන නිසා. ඒ සඳහා රජයේ මාධ්‍ය මේ සඳහා දැනටමත් කටයුතු කරනවා. ඒ සඳහා මසක් සඳහා පහත ගෙවීම් අනුමත කර දෙන්න කියලා ඉල්ලා සිටිනවා. රජයේ මාධ්‍ය ආයතන හතර සදහා මාසයකට රු මිලියන 30 ක් ඉල්ලා සිටිනවා. රටම එකට ජාතික මෙහෙයුමත් මේ වනවිට අසාර්ථකයි. දිනෙන් දින මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර වැඩිවෙනවා. 2026 ජනවාරි 01 වනිදා පටන්ගත්තේ කොරතොට ප්‍රෙද්ශයේ ඝාතන දෙකක් සිදු වෙලා. ඒ නිසා අද ජනාධිපතිතුමා වසරක් පුරාවට සිදු කළ හැම වැඩසටහනක් ම අසාර්ථකයි. සම්පුර්ණයෙන්ම සුදු අලි. අපි කියන්න කැමති මේ රටේ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පෞද්ගලික මාධ්‍ය නාලිකා මර්ධනය කරන ගමන් මාලිමාවේ දේශපාලන මතය, පැලවත්තේ දේශපාලන මතය ඉදිරියට ගෙන යෑම සඳහා ආණ්ඩුවේ මාධ්‍යවලට මහජනතාව ගේ බදු මුදල් පොම්ප කරමින් සිටිනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමන්ට කියනවා කරුණාකරලා මාධ්‍ය සංදර්ශන නවත්වලා ඔබතුමා ජනතාවට දුන් පොරොන්දු 1381 ඉෂ්ට කරන්න. මේ කාර්ය මණ්ඩලය විසිරුවා හැරලා ඔවුන්ගෙන් වඩාත් ඵලදායි සේවයක් ගන්න.
අගමැතිනිය ටිල්වින් ගෙ ලණුව කෑව ද...?
ඒ වගේම අපි දැක්කා අග්‍රමාත්‍යතුමිය ඊයේ දිනයේ දී මාධ්‍ය ඉදිරියේ අපහසුතාවට පත්වුණා. අපිට සැකයක් තියෙනවා විජිත හේරත් අමාත්‍යතුමා හා නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා හිතාමතාම ද අග්‍රමාත්‍යතුමිය අපහසුතාවයට පත් කළේ කියලා. මොකද රජය වෙනුවෙන් අමාත්‍යංශය වෙනුවෙන් ජාතියෙන් සමාව ඉල්ලුවේ විජිත හේරත් විදේශ කටයුතු අමාත්‍යතුමා අගමැතිතුමිය ළඟ තියාගෙන. අගමැතිතුමිය මේ උගුලට තල්ලු වුණේ ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා ගේ ලණුවක් කාලා කියලයි අපිට ලැබී තියෙන තොරතුරුඅනුව පැහැදිලි වන්නේ. මෙය අත් වැරැද්දක් කිව්වට මෙය චේතාන්විතවම තමයි හය වසරේ මේ මොඩියුල එකට මේ අසභ්‍ය වෙබ් අඩවිය යොදවලා තියෙන්නේ. මේ වැනි දෙයක් සිදු වුණාම තමා ගේ අමාත්‍යංශයේ නිලධාරින් මේ පිළිබඳව සොයා බලනවා.
පෙළපොත්වලට අසභ්‍ය වෙබ් අඩවි පළ කිරීම දරුණු ම අපරාධයක්
මේ වනවිට අගමැතිතුමිය විසින්ද වසරක් ඇතුළත කිසිදු දෙයක් රටට කරලා නෑ. මේ වනවිට ගුරු පුරප්පාඩු විශාල වශයෙන් පවතිනවා. ගුරුවරු බදවා ගන්න කිසිදු වැඩපිළිවෙළක් නෑ. නමුත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ගේන්න පුදුමාකාර හදිස්සියක් තිබුනේ. ඔය වැඩපිළිවෙල කළබලේ පටන් ගද්දීම අපි කිව්වා කළබල නොවි කටයුතු කරන්න නැතිනම් ඔය කුලුඳුල් දරුවා අංගවිලක වෙන්න පුළුවන් නැතිනම් විශේෂ අවශ්‍යතා තියෙන දරුවකු වෙන්න පුළුවන් කියලා. අපිට ආණ්ඩු පක්ෂයේ පිරිස කිව්වේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමට කටයුතු කරනවා, කොරහේ කිඹුල්ලු දකිනවා කියලා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරලා තියෙන්නේ මේ රටේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ම යි. මේ තුළින් සිදු කළේ මේ රටේ ඉතිහාසයට, සංස්කෘතියට, ජාතිකත්වයට, සභ්‍යත්වයට පහර දීම යි. ඒ නිසා තමයි මේක ගේනකොට ම ඉතිහාස විෂය, සෞන්දර්ය විෂය සම්පූර්ණයෙන් ම තෝරා ගැනීමේ විෂයන් බවට පත් කළේ. ඒ විතරක් නෙමෙයි කාලපරිච්ඡේදවල වේලාවත් වැඩි කළා. ආරම්භ හා අවසාන කරන වේලාවන් පාසල් වල වෙනස් කළා. ඒ සම්බන්ධව දැඩි ජනතා විරෝධයක් මතුවනවිට වේලාව නම් නැවත ඒ අයුරින්ම තිබ්බා. නමුත් මේ 6 වසරේ දරුවන්ගේ ඉංග්‍රිසි පෙළපොත්වල මේ අසභ්‍ය වෙබ් අඩවි පළ කිරීම දරුණු ම අපරාධයක්.
අපි අගමැතිනියටත් දඬුවම් කරනවා
මගේ දියණිය 6 වසරේ ඉගෙන ගන්නේ සමාජයේ මේ කතිකාවත යද්දි මගේ දියණිය අහනවා අප්පච්චි මොකක්ද මේ සමලිංගිකත්වය කියන්නේ කියලා. මේ සමාජයේ අනවශ්‍ය කතාවක්. මම මොකක්ද දෙන පිළිතුර. මෙය අනවශ්‍ය කතාවක්. ඒ නිසා අගමැතිතුමිය සම්පූර්ණයෙන් ම පෙනිසිටිනුයේ සමලිංගිකත්වය වෙනුවෙන්. එතුමිය ගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් රටේ අනාගතය පාවා දෙන්න අපි සුදානම් නෑ. මේ පෙළපොත් මුද්‍රණය සඳහා කෝටි 06 ක මුදලක් වියදම් වෙලා තියෙනවා. එය සම්පුර්ණ රජයේ දේපළ අවභාවිතා කිරීමක්. අද වාහනයකට තෙල් ගැහුවා කියලා වාහනයක් වැඩිපුර භාවිතා කළා කියලා කුදලගෙන ගිහින් හිරේ දානවා. හැබැයි තවමත් කෝටි 06ක් අවභාවිතා කළ අගමැතිතුමිය තනතුරේ ඉන්නවා. අගමැතිතුමිය හා නාලක කළුවැව මැතිතුමා ඇතුළු පිරිස වෙනුවෙන් අපේ ආණ්ඩු සමයේ දී මේ පිළීබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අපි තරයේ ප්‍රකාශ කර සිටිනවා. සමස්ත ජාතියට, ඉතිහාසයට එල්ල කල මරු පහරක්. අපි ආණ්ඩුවට විපක්ෂය ලෙස සියලු බැරැරුම් අවස්ථාවලදී සහයෝගය දුන්නා නමුත් අපි ආණ්ඩුවට තවත් කාලයක් ලබා දෙන්න සුදානම් නෑ. සියලු විපක්ෂ බල කඳවුරු එකට එකාවන්ව එක්වී මේ වසර ඇතුළත ආණ්ඩුව ගෙදර යවන්න සුදානම් කියලා අපි තරයේ ප්‍රකාශ කර සිටිනවා.''

