හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නේ පවත්නා ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට මිස වෙනත් කිසිදු හේතුවකට නොවන බවත්, ආපදාවට ලක්වූ ජනතාව ගේ ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය පූර්ණ අවධානය යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මහජන ආරක්ෂක පනත යටතේ වූ යෝජනා පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ජනවාරි 06 වන දින පාර්ලිමේන්තුවේ පැවැති විවාදය ආරම්භ කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ...
හදිසි තත්ත්වය තවත් මාසයකින් දීර්ඝ කරනවා
"ඉතිහාසයේ කිසිදු අවස්ථාවක අත් නොවූ අන්දමේ බරපතළ ස්වභාවික ආපදාවකට 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් අපට මුහුණ දීමට සිදු වුණා. මුළු රටේ ම ජනතාවට එම පීඩාව දරා ගැනීමට සිදු වූ අතර දිස්ත්‍රික්ක විසිපහට ම ඉන් හානි සිදු වුණා. දැනටත් දිස්ත්‍රික්ක කිහිපයක පවුල් විශාල ප්‍රමාණයක් අවතැන්ව සිටිනවා. මෙම ස්වභාවික ව්‍යසනය හමුවේ විශේෂයෙන් ම මධ්‍යම කඳුකරයට දැඩි හානි සිදු වුණා. රජය එම අවස්ථාවේ සිට ම ක්ෂණික ප්‍රතිචාර දක්වමින් හානිය අවම කිරීමට කටයුතු කළ අතර, ආපදාවේ බරපතළකම හඳුනා ගනිමින් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙහි පවත්නා බරපතළ තත්ත්වය සැලකිල්ලට ගෙන, ජනාධිපතිතුමා, මහජන ආරක්ෂක පනතේ විධිවිධාන යටතේ 2025.11.28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ යෝජනා ද සැලකිල්ලට ගනිමිනුයි ජනාධිපතිතුමා එම තීරණය ගත්තේ. එම හදිසි තත්ත්වය තවත් මාසයකින් දීර්ඝ කිරීමට අපට සිදුව ඇති අතර මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒ වෙනුවෙනුයි.
දීර්ඝ කිරීමට හේතුව
තවමත් සුරක්ෂිතතා මධ්‍යස්ථාන 225 ක පවුල් 6,592 ක් රැඳී සිටිනවා. දැනට ලැබී ඇති වාර්තා අනුව පූර්ණ නිවාස හානි 6,037 ක් සහ අර්ධ නිවාස හානි 108,476 ක් වාර්තා වී තිබෙනවා. මෙම දත්ත අප දිනෙන් දින යාවත්කාලීන කරනවා. සුරක්ෂිතතා මධ්‍යස්ථානවල නොසිටියත්, තමන් ගේ නිවෙස්වලට යාමට නොහැකිව වෙනත් ස්ථානවල රැඳී සිටින පිරිස මීටත් වඩා වැඩි බව ගණනය කර තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ රටේ තත්ත්වය තවමත් සාමාන්‍ය අතට පත්ව නොමැති බවයි. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම හදිසි තත්ත්වය දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙම පනත යටතේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පවත්වාගෙන යාමටත්, අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් අපට අවස්ථාව ලැබී තිබෙනවා. හදිසි නීතිය අප භාවිතා කරන්නේ ආපදා කළමනාකරණයට මිස වෙනත් කිසිදු පටු අරමුණකට නොවන බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මෙම සංකීර්ණ තත්ත්වය තුළ රජයේ නිලධාරීන්ට ක්ෂණිකව තීරණ ගැනීමටත්, ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැපයීමටත් අවශ්‍ය නීතිමය පසුබිම සකස් කිරීම මෙහි එකම අරමුණයි.
මෙය ප්‍රජාතන්ත්‍රවාදය හෝ භාෂණයේ නිදහස සීමා කිරීමක් ලෙස නන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. ආපදා කළමනාකරණය සඳහා මිස වෙනත් කිසිදු කටයුත්තකට මෙය භාවිතා නොකරන බව ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. රජය ක්‍රියා කරන්නේ එම ස්ථාවරයේ සිටයි.
අපේ උත්සාහය ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ භූගෝලීය වෙනස්කම් පිළිබඳව අප තවමත් අධ්‍යයනය කරමින් සිටිනවා. එය ඉතා සංකීර්ණ (Dynamic) තත්ත්වයක්. ජනතාව නැවත පදිංචි කිරීමේග දී එම භූමියේ සුරක්ෂිතතාව තහවුරු කිරීම අත්‍යවශ්‍යයි. දැනට පවතින වර්ෂාපතනය සාමාන්‍යයෙන් ආපදා ඇති කරන්නක් නොවූවත්, පෙර පැවති අස්ථාවර භූමිකම්පා සහ නායයෑම් අවදානම නිසා අප ඉතා කල්පනාකාරී විය යුතුයි. හදිසි තත්ත්වය පවත්වාගෙන යාමට එය ද හේතුවක්. අපේ සම්පූර්ණ උත්සාහය ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමයි. රජයේ නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව, පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ සියලු දේශපාලන පක්ෂවල සහයෝගය මත යටිතල පහසුකම්, මාර්ග, විදුලිය සහ සන්නිවේදන සේවා බොහොමයක් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අපට හැකි වුණා. එමෙන්ම ජාත්‍යන්තර සහයෝගය ද ඇතිව කෙටි කාලයකින් ව්‍යසනයේ බරපතළ බලපෑමෙන් මිදීමට අපට හැකි වුණා. වෙනස් වන තත්ත්ව පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, තමන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

