ආණ්ඩුව, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම මාලිමාකරණයට ලක් කරන්න හදනවා - උදය ගම්මන්පිල

ආණ්ඩුව, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම මාලිමාකරණයට ලක් කරන්න හදනවා - උදය ගම්මන්පිල

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත සංශෝධන කරන්නට ආණ්ඩුව සූදානම් වන්නේ අන් කුමකටවත් නොව පීඨාධිපති සහ අංශ ප්‍රධානි තනතුරු මාලිමා හිතවතුන්ට ලබා දී සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම මාලිමාකරණයට ලක් කිරීමේ අරමුණෙන් යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...

ආණ්ඩුව හොඳට ම බය වෙලා

''1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත සංශෝධන කරන පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා තිබෙනවා. මේ පනතේ ප්‍රකාශිත අරමුණ වෙලා තිබෙන්නේ පීඨාධිපතිවරු සහ අංශාධිපතිවරු පත් කරන ක්‍රමවේදය වෙනස් කරන එක. නමුත් දැන් තිබෙන ක්‍රමය වැරදියි, ඒක වෙනස් කරන්න ඕනි කියලා සරසවි ප්‍රජාවෙන් කිසිම ඉල්ලීමක් තිබුණේ නෑ. මේ පනතේ යටි අරමුණ වෙලා තිබෙන්නේ පීඨාධිපති සහ අංශ ප්‍රධානි තනතුරු මාලිමාවුන්ට ලබා දීලා විශ්ව විද්‍යාල පද්ධතිය මාලිමාකරණයට ලක් කරන්න. මාලිමාවට වැඩ කරපු කාට හරි දැන් තිබෙන පනත යටතේ පීඨාධිපති හෝ අංශාධිපති වෙන්න බැරි නිසා මේ පනත සංශෝධනය කරන බවටයි විශ්වවිද්‍යාල ප්‍රජාවේ මතය වෙන්නේ. පසුගිය ජනපතිවරණයේ දී සරසවි ඇදුරන් විශාල පිරිසක් මාලිමාවට වැඩ කළා. මේ අයගෙන් පිරිසක් පාර්ලිමේන්තු ආවා. තවත් පිරිසක් අධ්‍යක්ෂවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, සභාපතිවරු වුණා. මේ අතරේ කිසිම තනතුරක් නොලැබුණු විශාල පිරිසක් කලකිරීමෙන් ඉන්නවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ අය කට අරීවි කියලා ආණ්ඩුව බයෙන් ඉන්නේ. ඒ නිසා තමයි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරලා මේ අයට තනතුරු දීලා මේ අයව නිහඬ කරන්න හදන්නේ.

නව පනතින් ආණ්ඩුවට වන වාසි

මේ පනත සම්මත වන තුරු සියලු ම විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් පත් කිරීම තාවකාලිකව නතර කරලා තිබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විධියට විශ්වවිද්‍යාල පරිපාලනය සම්පූර්ණයෙන් අඩපණ වෙලා. පනත සම්මත කරන තුරු තිබෙන ප්‍රශ්නවලට වඩා පනත සම්මත වුණොත් මතු වන ප්‍රශ්න වැඩියි. පීඨාධිපතිවරයෙකු ධුර කාලය තුළ ඕනෑම අවස්ථාවක ඉවත් කරන්න පාලක සභාවට බලය ලැබෙනවා. පාලක සභාවේ බහුතරය පත් කරන්නේ ඇමතිතුමා. පීඨාධිපතිව පත් කරන්නේ පීඨ මණ්ඩලය. ඒකේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය සිට කථිකාචාර්ය දක්වා ඉන්න සියලු ම ගුරුවරු ඉන්නවා. කතිකාචාර්යවරුන් ගේ බහුතර කැමැත්තෙන් පීඨාධිපති වෙන කෙනා මාලිමාවට කඩේ යන කෙනෙකු නොවේ නම් එයාව ඕනෑම අවස්ථාවක අස් කරලා දාන්න දේශපාලනික වුණු පාලක සභාවට අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම මෙතෙක් පීඨාධිපති වෙන්න පුළුවන් අංශාධිපතිවරයෙකුට විතරයි. නමුත් මේ පනතින් කතිකාචාර්යවරයෙකුට පවා කෙළින්ම පීඨාධිපති වෙන්න පුළුවන්.

හරිණි පාරට බහීවි ද...?

කිසිම ආණ්ඩුවක් මේ විධියට විශ්වවිද්‍යාල දේශපාලනිකරණයට උත්සාහ කළේ නෑ. විශ්වවිද්‍යාල ආණ්ඩුවේ බලපෑමෙන් තොරව ස්වාධීනව පාලනය වෙන්න ඕනි කියන අදහසින් තමයි පනත් සකස් කළේ. අවාසනාවට මෙහෙම පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා කියලා තවම විශ්වවිද්‍යාල ප්‍රජාව දන්නේ නැතිව ඇති. නැතිනම් මේ පනතට විරෝධය පාන්න මුලින්ම එන්නේ එදා 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න කියන සටනට නායකත්වය දුන්නු හරිනි අමරසූරිය අගමැතිතුමිය. ඒ නිසා විශ්ව විද්‍යාල දේශපාලනකරණයට පාර කපන මාලිමාකරණයට පාර කපන මේ පනත් කෙටුම්පත පිළිබඳ සරසවි ප්‍රජාවගේ අවධානය යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

ශ්‍රී ලංකා රාජ්‍යය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයේ ට්‍රොජන් අශ්වයා

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජ සංවාදය අද හයේ පොතේ එක ඉංග්‍රිසි මොඩියුලයකට සීමා වෙලා. මේක මුහුද මැද තිබෙන දැවැන්ත අයිස් කන්දේ ජලයෙන් උඩට ආපු කඳු මුදුන විතරයි. සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ම අවුල්. අධ්‍යාපනයෙන් අපේක්ෂා කරන දේශප්‍රේමිත්වය, විනය සහ ධාර්මික බව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා නැත්තටම නැති කරනවා. ශ්‍රී ලංකා රාජ්‍යය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයේ ට්‍රොජන් අශ්වයා තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. මේක සම්පූර්ණයෙන් අගමැතිනිය සිය එන්ජිඕ නඩය සමග කරන විනාශකාරි ව්‍යාපෘතියක්. අගමැතිනිය තවමත් හිතාගෙන ඉන්නේ එයා නෙස්ට් ශ්‍රී ලංකා එන්ජීඕවේ ප්‍රධානියා කියලා මිස ලංකාවේ අධ්‍යාපන ඇමතිනිය කියලා නොවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැවැන්ත සමාජ සංවාදයක් සමග සිදුවිය යුතු දැවැන්ත ව්‍යාපෘතියක්. අවම තරමින් මාලිමා අධ්‍යාපන කමිටුවේ සභාපති වුණු මහචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිවත් මේ ගැන දන්නේ නෑ කියලා එතුමා ප්‍රකාශ කර තිබුණා. මේ රටේ ඉන්නා විද්වතුන් දන්නේ නැතිනම්, අධ්‍යාපනඥයින් දන්නේ නැතිනම් ගුරුවරු දන්නේ නැතිනම් අඩුම ගණනේ මාලිමාව දන්නේ නැතිනම් මෙතැන කුමන්ත්‍රණයක් නැද්ද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දරුවා වැදූ අම්මා හරිනි අමරසූරිය අගමැතිතුමිය වුණාට තාත්තා කවුද කියා දන්නේ නැති අවජාතක දරුවෙක් බවට අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පත් වෙලා.

ආණ්ඩුවේ නවතම ව්‍යාපෘතිය; 'කොළ ඉරන්නෝ'

හයේ ඉංග්‍රිසි පොතේ කොළ දෙකක් ඉරලා මේ ප්‍රශ්නය විසඳිය හැකියි කියලා ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා. 'අපි, කොළ ඉරන්නෝ කියලා අලුත් රැකියා අවස්ථා ජනිත කළා, වඩේ කර්මාන්තයට කඩල කර්මාන්තයට පරිසර හිතකාමි මලු හදන්න කොළ ලබා දුන්නා' කියලා ඩෝබි බළකාය ලවා සමාජ මාධ්‍යවල ලියවලා මේ ප්‍රශ්නයෙන් ගොඩ යන්න පුළුවන් කියා ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුව පව්. පොතේ කොළ දෙක අනිවාර්රයෙන් ඉරා දැමිය යුතුයි. ඒත් කොළ දෙකක් ඉරා දැමීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. හරිනි අමරසූරිය මැතිනිය අනිවාර්යයෙන් අධ්‍යාපන ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. නමුත් අධ්‍යාපන ඇමති ධුරයෙන් ඉල්ලා අස්විමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. මේ ප්‍රශ්නය විසඳීමට නම් ආණ්ඩුව වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගත යුතුයි.

මේ ආණ්ඩුවට නැති තුන

අධ්‍යාපනයෙන් කරන්නේ ජාතියේ අනාගතයේ අත්තිවාරම දාන එකයි. අද ලෝකය පුරා ලංකාවේ අධ්‍යාපනයට විශාල පිළිගැනීමක් තිබෙනවා. විදේශීය විශ්වවිද්‍යාලවල උගන්වන කාලයේ අපි ඒක අත්වින්දා. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ අතිශයින්ම බැරෑරුම් කටයුත්තක්. එවැනි ලොකු වැඩක් කරන්න අවශ්‍ය අත්දැකීම්, දැනුම සහ බුද්ධිය මේ ආණ්ඩුවට නෑ. මේ තුනෙන් එකක් හරි නැතිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බෑ. අවාසනාවට මේ ආණ්ඩුවට මේ තුනෙන් එකක්වත් නෑ. ඉතින් කොහොමද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නේ? ඒ නිසා මාලිමා ආණ්ඩුව වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගත යුතුයි. එහෙම කළොත් මේ ආණ්ඩුව රට වෙනුවෙන් එකම එක වැඩක් හරි කලා කියලා මාලිමාවට ඡන්දය දුන්නු අයට සතුටු වෙන්නත් පුළුවන්.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න