ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රය නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ් පත් හඳුන්වා දීම ශ‍්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ ඊට අනුබද්ධ රක්ෂණ සමාගම් විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ දී අද (07 දින) සිදු කරන ලදී. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූයේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ය.
ඩිජිටල් ආර්ථික ඉලක්ක සමග පෙළ ගැසෙන වර්ධනීය අවස්ථාවක්
මෙතෙක් භාවිතා වූ සාම්ප‍්‍රදායික භෞතික සහ ප්ලාස්ටික් මෝටර් රථ රක්ෂණ කාඞ්පත් වෙනුවට, ඩිජිටල් අනුවාදයක් හඳුන්වා දෙන අතර, එමගින් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට ඔවුන් ගේ ස්මාර්ට් ජංගම දුරකතනය හරහා ආරක්ෂිත ලෙස රක්ෂණ තොරතුරු වෙත ප‍්‍රවේශ වීමට හැකියාව ලැබේ. මෙය රක්ෂණ සේවා වඩාත් කාර්යක්ෂම, පහසු සහ විශ්වසනීය කරමින්, රජයේ ඩිජිටල් ආර්ථික ඉලක්ක සමග සමීපව පෙළ ගැසෙන වර්ධනීය අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය.
ජාතික වශයෙන් පුළුල් ප‍්‍රතිලාභ ලබා දීම අරමුණු කරගත් මෙම මුලපිරීම ප‍්‍රධාන වශයෙන් වාසි තුනකින් සමන්විත වේ.
අපේක්ෂිත සේවා
පාරිසරික ප‍්‍රතිලාභ ලෙස, ප්ලාස්ටික් භාවිතය සැලකිය යුතු ලෙස අඩු කරමින් අපද්‍රව්‍ය අවම කිරීම හා හරිත ප‍්‍රතිපත්ති ප‍්‍රවර්ධනය කිරීම හරහා ජාතික තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා දායක වීම, පිරිවැය ප‍්‍රතිලාභ වශයෙන්, සංකීර්ණ පරිපාලන සහ බෙදාහැරීමේ ක‍්‍රියාවලීන් සරල කරමින්, රක්ෂණ කර්මාන්තයටත් රක්ෂණ ඔප්පු හිමියන්ටත් දිගුකාලීන පිරිවැය ඉතිරිකිරීම් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කිරීම, ඩිජිටල් ප‍්‍රතිලාභ ලෙස, මෝටර් රථ රක්ෂණය සඳහා ක්ෂණික හා ආරක්ෂිත ප‍්‍රවේශයක් ලබා දීමෙන් සේවා කාර්යක්ෂමතාව, නිරවද්‍යතාවය සහ විශ්වසනීයත්වය වැඩිදියුණු කරමින් රජයේ ඩිජිටල් පරිවර්තන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම මෙමගින් අපේක්ෂිත ය.
රක්ෂණ ක්ෂේත‍්‍රය නව යුගයකට
මෙම ක‍්‍රමය ඵලදායී ලෙස ක‍්‍රියාත්මක කිරීම සහ තත්‍ය කාලීන නිරීක්ෂණය සහතික කිරීම සඳහා, ශ‍්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව හා රක්ෂණ සමාගම් විසින් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් දුරකතන 500ක් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු කෙරිණ. එමගින් නිලධාරීන්ට මධ්‍යම රක්ෂණ දත්ත සමුදාය වෙත ක්ෂණික සහ නිවැරදි ව සත්‍යාපනය සිදු කිරීමට හැකියාව ලැබේ. මෙම ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ් පත් මුලපිරීම, ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රය නව යුගයකට ගෙන යන වැදගත් පියවරක් වන අතර, මහජනතාවටත් රජයටත් එකසේ ප‍්‍රතිලාභ ලබා දෙන නවීන ඩිජිටල් විසඳුමක් ලෙස සැලකිය හැකිය.
විශේෂයෙන්ම වත්මන් රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සමගාමීව මෙලෙස ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඞ්පත් හදුුන්වා දීම ඉතා වැදගත් පියවරක් ලෙස හදුනා ගැනීමට හැකිය.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය, ශ‍්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් ඇතුළු රක්ෂණ ක්ෂේත‍්‍රයේ නිලධාරීන් පිරිසක්, ශ‍්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

