රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සුළු කොට සලකලා - කාවින්ද ජයවර්ධන

රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සුළු කොට සලකලා - කාවින්ද ජයවර්ධන

වර්තමාන ජාතික ජනබලවේග රජයේ පවතින නොහැකියාව හේතුවෙන් රටේ පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සුළු කොට සැලකීමට කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ පසු ගිය 07වන දා සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.

අධ්‍යාපනය නවීකරණය විය යුතුයි

''ශ්‍රී ලංකාවේ අනාගතය සහ රටේ විශාලම සම්පත වන්නේ රටේ සිටින දරුවන්. දරුවන්ට රට තුළ හොඳ අවකාශයක් සකස් කිරීමට හැකියාව තිබෙන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමෙන් පමණක් බව දකුණු ආසියානු කලාපයේ දෙමාපියන් විශ්වාස කරනවා. නිදහස් අධ්‍යාපනය හරහා දරුවන්ට එම අවකාශය ලබාදීමට හැකියාව තිබෙනවා. ඒ වගේම නිදහස් අධ්‍යාපනය හදාරන දරුවන් ගේ අධ්‍යාපනය නවීකරණය විය යුතුයි. එමෙන් ම නවීකරණය විය යුතුයි. ඒ වගේම නව ලෝකයට ගැළපිය යුතුයි. කෙසේ නමුත් වර්තමාන ජාතික ජනබලවේග රජයේ තිබෙන නොහැකියාව හේතුවෙන් රටේ තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සුළු කොට සලකන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම සම ලිංගික ක්‍රමවේදය ප්‍රචලිත කිරීමේ ක්‍රියාවලියක වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව නියැළෙන බවට ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවා. සංචාරක අමාත්‍යංශය හරහා තවත් ආයතනයකට සම ලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා අවකාශය අවස්ථාව ලබා දීමට ලිඛිත අනුමැතියක් ලබා දුන් බවට වන චෝදනා වර්තමාන ආණ්ඩුවට එල්ල වුණා. ඒ පිළිබඳව ගෞරවනීය ආගමික නායකයන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ හඩ නැගීමෙන් පසු එල්ල වුණ විරෝධය නිසා ආණ්ඩුවට එය හකුළා ගැනීමට සිදුවුණා.

ලිංගිකත්වය පිළිබඳව දැනටත් උගන්වනවා

දිට්වා සුළි කුණාටුවෙන් පසුව නිකුත් කළ ගැසට් පත්‍රයක සම ලිංගිකත්වය පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් කරුණු ගැසට් පත්‍රයට ඇතුළත් කළා. ඉන්පසුව 6 ශ්‍රේණියේ දරුවන් ගේ ඉංග්‍රීසි පාඩමට සම ලිංගික ක්‍රියාවලිය ඇතුළත් කර තිබෙනවා. ලිංගිකත්වය පිළිබඳව දරුවන්ට උගන්නන්නේ සෞඛ්‍ය පාඩමක හෝ විද්‍යා විෂය හා සම්බන්ධ පාඩමක පමණයි. ලිංගිකත්වය පිළිබඳව ඉංග්‍රීසි පෙළ පොතක ඇතුළත් වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රජනනය සම්බන්ධයෙන්, පිළිසිඳ ගැනීමක් සම්බන්ධයෙන්, ආරක්ෂිතව ලිංගික කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් අධ්‍යාපනයේ උගන්වනවා. කෙසේ නමුත් මෙම කරුණුවලට වඩා එහා ගිය ලිංගික ක්‍රියාවලියක් පෙළ පොතකට හඳුන්වා දීලා , ලක්ෂ පහක් පොත් මුද්‍රණය කරලා, දරුවන්ට බෙදා දීමට සුදානම්ව තිබිය දී උලපනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව තොරතුරු දැනගෙන එම තොරතුරු මාධ්‍යයට අනාවරණය කළාට පසු ඒ තුළින් රටට ම මෙම සිද්ධිය පිළිබඳව දැන ගැනීම හැකිවුණා. මෙම තොරතුරු හෙළි වුණාට පසු ඒ පිළිබඳව පරික්ෂණයක් සිදුකරන බව රජය ප්‍රකාශ කරනවා.

අගමැතිවරිය තාවකාලිකව හෝ ඉල්ලා අස් විය යුතුයි

කෙසේ නමුත් මෙම සිද්ධය සම්බන්ධයෙන් රජය පරික්ෂණයක් සිදුකරනවා නම් අධ්‍යාපන ඇමැතිවරිය එම තනතුරින් ඉවත් වී පරික්ෂණයක් කළ යුතුයි. ජාතික ජනබලවේගයේ වගකිව යුතු පුද්ගලයකු වරදක් කළහොත් තනතුරින් ඉවත්වී පරික්ෂණවලට සහාය දක්වන බව බලයට ලබාගැනීමට පෙර ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා. කෙසේ නමුත් යහපාලන රජය සමයේ දී රවී කරුණානායකට චෝදනාවක් එල්ල වුණා. එහි දී ඔහු ඉල්ලා අස්වී පරික්ෂණවලට සහයෝගය ලබාදුන්නා. ඒ වගේම රිෂාඩ් බදියුදින්ට චෝදනාවක් එල්ල වුණ අවස්ථාවේ දී එහිදී ඔහු ඉල්ලා අස්වී අවශ්‍ය පරික්ෂණවලට සහයෝගය ලබාදුන්නා. යහපාලන රජයේ පමණක් නොව මීට පෙර තිබුණ ආණ්ඩු රැසක මේ ආකාරයට මැති ඇමැතිවරු ඉල්ලා අස්වී තිබෙනවා. රටේ අගමැතිනිය වන හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමැතිවරිය ලෙස අසමත් බව දැන් සනාථ වී තිබෙනවා. මෙම වරද සම්බන්ධයෙන් ඇය ජාතියෙන් සමාව ගත යුතුයි. ජාතියෙන් සමාව ගෙන ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිය වහාම ඉල්ලා අස්විය යුතුයි. ඒ වගේම විපක්ෂය අධ්‍යාපන ඇමැතිනි හරිනි අමරසූරියට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළාට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව කටයුතු කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයටයි. ඒ හරහා මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒම ප්‍රමාද කරන්න ආණ්ඩුව දැඩි උත්සාහයක් ගනියි.

වරදේ වගකීම අගමැතිවරිය භාර ගත යුතුයි

ඒ වගේම ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිනියට අධ්‍යාපන ඇමැතිවරිය ලෙස කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් නැහැ. අගමැතිනියට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාව පරාජය කරන්න ආණ්ඩුව උත්සහ කරයි. නමුත් ඒ පරාජයට පත් කරන්නේ දරුවන්ගේ අනාගතය යි. මෙම ප්‍රශ්නය පිටු ගලවලා , කොළ ඉරලා කරන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. රටේ අහිංසක දරුවන් ගේ අධ්‍යාපනය කෙරෙහි තිබෙන බලාපොරොත්තුවලටයි ආණ්ඩුව මේ පහර එල්ල කරන්නේ. රටේ දරුවන් ගේ දැස් අන්ධ කළ හරිනි අමරසුරිය අගැමැතිවරිය ඉතිහාසගත වෙනවා. දරුවන් ගේ පෙළපොතට සම ලිංගිකත්වය එකතු කළා නම් ඒ පිළිබඳව අපක්ෂපාති පරික්ෂණයක් සිදුකරන්න එතුමිය ඉල්ලා අස්වෙන්නේ නැතිනම් මෙම වරදේ වගකිම ඇය භාර ගත යුතුයි. ඒ වගේම ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිනියට අමාත්‍ය මණ්ඩලය පිළිබඳව වගකීමක් තිබෙනවා. අගමැතිනිය අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා. ඇය ඉල්ලා අස්වුණොත් සමස්ත අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්විය යුතුයි. එවැනි කොන්දක් වර්තමාන ආණ්ඩුවට නැහැ. ඒ නිසා අවම වශයෙන් අධ්‍යාපන ඇමැතිධුරයෙන් අගමැතිනියට ඉල්ලා අස්වෙන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම යුතුකම් දන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ යුතුයි.

විශ්වාසභංගයෙන් බලාපොරොත්තු වන්නේ මෙනවා ද...?

අගමැතිනියට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාව නිවැරදි දෙයක් බව ආණ්ඩු පාර්ශ්වයේම මන්ත්‍රිවරු ප්‍රකාශ කරනවා. නමුත් ඔවුන් ඒ වෙනුවෙන් පෙනී සිටින්න ශක්තියක් නැහැ. නමුත් රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් රටේ ජනතාවගේ අවබෝධය වැඩි කරන්න මෙම විශ්වාසභංග යෝජනාව හරහා කටයුතු කරනවා. ඒ වගේම රටේ දරුවන් අධ්‍යාපනයට ආරක්ෂා කිරිමේ එක් අරමුණක් බවට මෙම විශ්වාසභංග යෝජනාව පත් කරන්න විපක්ෂය කටයුතු කරනු ලබනවා. මෙම විශ්වාසභංග යෝජනාව ගෙනැවිත් අධ්‍යාපනය සම්බන්ධ කරුණු කාරණා රටට හෙළි කරලා අපේ යුතුකම වගකීම රට වෙනුවෙන් ඉටු කරන්න කටයුතු කරනු ලබනවා. ඒ වගේම අකාර්යක්ෂම දුර්වල අධ්‍යාපන ඇමැතිවරියගේ ක්‍රියාවන් රටට හෙළි කරන්නයි කටයුතු කරනු ලබන්නේ. අපි විශ්වාසභංගයෙන් බලාපොරොත්තු වෙන්නේ රටට තොරතුරු අනාවරණය කිරීමයි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න