පාස්කු ප්‍රහාරය සිදු වූ දිනය ළඟ ළඟ ම එන බැවින් ආණ්ඩුව අලුත් නාට්‍යයක් පෙන්වන්න සූදානම් වන්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මහරගම නව ජනතා පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සූගීෂ්වර බණ්ඩාර...
මහ මොළකරු පිළිබඳ තොරතුරු කෝ...?
''මහජන ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කියනවා මේ සහරා ජස්මින් මැරිලා නෑ ඇය සම්බන්ධයෙන් Travel Band එකක් ගන්නවා කියලා. මේ එන්න හදන්නේ ආනන්ද විජේපාල මහත්තයා ඊළඟ පාස්කු නාට්‍ය රග දක්වන්න. මොකද මේ පාස්කු ප්‍රහාරය වෙච්ච දිනය ළඟ ළඟ ම එන නිසා මෙයාලා අලුත් නාට්‍යයක් මේ සඳහා හදන්නයි යන්නේ. මාලිමා ආණ්ඩුව බලයට එද්දි දුන්න ප්‍රධාන පොරොන්දුවක් තමයි මේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ගැන පළමු දින 100 ඇතුළත තොරතුරු හෙළිදරව් කරනවා කියලා. හැබැයි ඔවුන් බලයට ඇවිල්ලා පළමු දින 100 එද්දි මොකද කළේ...? ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කළා. මහ මොළකරුවකු පිළිබඳව නම් කිසිම තොරතුරක් ඇතුළත් වෙලා තිබුණෙ නෑ. මේ වනවිට යන්නේ දෙවන අවුරුද්ද. කාදිනල් හිමිපාණන් දැඩි කළකිරීමක ඉන්නේ. අපිට තොරතුරු ලැබිලා තියෙනවා සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව කාදිනල් හිමිපාණන් දැඩි කළකිරීමක ඉන්නේ කියලා.
තුන් වතාවක් DNA ගත්තෙ ඇයි...?
කාදිනල් හිමිපාණන් අනිවාර්යෙන්ම මේ අප්‍රේල් 21 වෙනකොට දුන්න පොරොන්දු ඉටු කරමින් පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු පිළිබඳව රටට හෙළි කරන්න කියලා කියනවා. ඒ නිසා කාදිනල් හිමිපාණන් ගේ සිත සතුටු කරන්න මෙයාලා අලුත් නාට්‍යයක් රග දක්වමින් ඉන්නවා. ඒ තමයි ආනන්ද විජේපාල මහත්තයා ගේ සාරා ජස්මින් නාට්‍යය. සමාජයේ කතිකාවතක් ඇති කරමින් යනවා මේ පිරිස ඇයි DNA පරීක්ෂණ 03ක් කළේ කියලා. DNA පරීක්ෂණ තුනක් කරන්න උණේ මේ සයිද මර්දු සිදුවීම වෙන්නේ අප්‍රේල් මාසයේ 26 වනදා. ඊට පහුවෙනිදා තමයි මේ පළමුවන රස පරීක්ෂණ වාර්තාව සඳහා මේ ශරීර කොටස් යවන්නේ. ඒ යවන කොට මේ ශරීර කොටස් යම් ප්‍රමාණයක් නරක් වෙලා. ඒ නිසා තමයි දෙවන රස පරීක්ෂණ වාර්තාවක් කැඳවන්නේ. මේ පළමු DNA පරීක්ෂණය කරන අවස්ථාවෙ දී මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටියේ අද මහජන ආරක්ෂක ලේකම් ධුරය දරන රවී සෙනවිරත්න මහත්තයයි, අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවන ශානි අබේසේකර මහත්තයයි. දැන් මේ පාස්කු ප්‍රහාරය ගැන නිලන්ත ජයවර්ධන මහත්තයා: ගහන තැන කියද්දි, ඇද ගෙන එන ඇඳුම කියද්දි, ප්‍රහාරකයෝ රැගෙන එන පුපුරණ ද්‍රව්‍යවල බර කියද්දි, ඒ ගැන පරීක්ෂණ කරලා ඒක වළක්වා ගත්තේ නැති රවී සෙනවිරත්න, ශානි අබේසේකර මහත්තයා තමයි අද මේ පරීක්ෂණ ඉදිරියට ගෙනියන්නේ. එතකොට දෙවන DNA පරීක්ෂණයට යවන්නේ මිනීවළවල් දෙකෙන් එක මිනිවළක කොටස්. එහි තියෙන්නේ සහරා ජස්මින් ගේ මෑණියන් ගේ සහ අනිකුත් ඥාතින්ගේ ශරිර කොටස්. ඊට පස්සේ කියන උත්තරය තමයි මේ DNA පරීක්ෂණ වාර්තා එකිනෙක සන්සන්දනය වෙන්නේ නෑ කියලා. ඊට පස්සේ තමයි තුන්වන වතාවට DNA පරීක්ෂාවක් සිදු කරන්න අධිකරණය උපදෙස් ලබා දෙන්නේ.
අනවශ්‍ය තුවාලයක් හදන්නෙ ඇයි...?
DNA පරීක්ෂණයක් හිතුමතේට කරන්න බෑ. ඒ සඳහා අධිකරණයෙන්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් නීතිමය අවසරයක් ලබා ගන්න අවශ්‍යයි. ඒ අනුව තුන්වන DNA වාර්තාව කැඳවන කොට මේ සිද්ධියට අදාළ මිනිවල 90% ක පමණ ශරිර කොටස් ලබා ගෙන පළමු හා දෙවන පරීක්ෂණ සඳහා සහභාගි වුනු විනිශ්චයකාරවරු / රස පරීක්ෂකවරු ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු ඇතුළු සියලු ම රාජ්‍ය නිලධාරින් සහභාගි කරගෙන තමයි කරන්නේ. අන්න ඒකෙන් තමයි කියන්නේ සහරා ජස්මින්ගේ හා ඇයගේ පවුලේ ඥාතින්ගේ DNA සංසන්දනය වෙනවා. ඒ නිසා සහරා ජස්මින් මියගිය බවට තහවුරු වෙනවා කියලා. දැන් ආනන්ද විජේපාල මහත්තයා සහ ඇතැම් උදවිය උත්සහා කරනවා මේ අනවශ්‍ය තුවාලයක් හදන්න. ඇයි පළමුවන DNA හා දෙවන, තුන්වන පරීක්ෂණ කළේ කියලා.
සයිදමරන්දු වැටලීම කළේ කවුද...?
සහරා ජස්මින් ජීවතුන් අතර ඉන්නවාය කියලා කුතුහලය ආවේ කොහොමද? සයිදමරන්දු සිදුවීම අප්‍රේල් මාසේ 26 සිදු වුණාට පස්සේ මේ සම්බන්ධව මෙවැනි සිදුවීමක් සිදුවනවාය යන්න තොරතුරු ලැබුණු පසු යුද හමුදාවේ ජෙනරල් මුදලිගේ නායකත්වයෙන් මේ සමස්ත ප්‍රදේශය වට කරනවා. කවුද ජනරල් මුදලිගේට අණ දුන්නෙ...? අද රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය බංකු බංකු හෙවත් අරුණ ජයසේකර මහත්තයා. එතකොට අරුණ ජයසේකර යටතේ තමයි මේ සයිදමරන්දු වැටලීම සිදු කරන්නේ. එහෙම තියෙද්දි සහරාන් ගෙ මල්ලි රිල්වාන් සජීවිව අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා කියනවා 'අපේ සහෝදරයෝ මුස්ලිම් ජනතා විමුක්තිය වෙනුවෙන් ස්වර්ගස්ත වුණා.' කියලා. ඒ පාස්කු ප්‍රහාරය ඔවුන් එදා සාධාරණිය කළා. ඔහු කියනවා අපිත් ස්වර්ගස්ත වෙන්න සුදානම්. මෙතැන වැන්දඹුවෝ තුන්දෙනෙක් ඉන්නවා පාස්කු ප්‍රහාරයෙන් ජීවිත පුජා කරපු. ඒ උදාරතර විරෝදාර සහෝදරයන්ගේ. එතන සාධාරණ සැකයක් තියෙනවා ඒ කවුද කියලා? එහෙනම් සහාරාන් ගේ නෝනත්, සහරා ජස්මිනුත් එතන ඉදලා තියෙනවා. සයිදමරන්දු සිද්ධියෙන් 19 දෙනෙක් මැරුණා. බේරුණේ 02 යි. බේරුණු හාදියා හෙවත් සහාරාන් ගෙ බිරිඳ කියනවා මේ පුපුරවා ගැනීමට කලින් සහරා ජස්මින් පුටුවක වාඩිවෙලා 'ස්වර්ගයට යන්න එන්න හාදියා' කියලා එයාට කතා කළා කියලා. එයා දැක්කා සහරා ජස්මින් ගෙ බඩේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් බැඳගෙන ඉන්නවා. අපි කියන මේ තොරතුරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දපාර්තමේන්තුව හෝ බුද්ධි අංශ පරීක්ෂණ කරලා තියෙනවද? කට උත්තර 06 ක් සම්බන්ධ තොරතුරු තියෙනවා. ඒ සම්බන්ධව මොනවද කරලා තියෙන දේවල්.
IP මානික්කන්ද අද ඉන්නේ කොහෙද..?
දිර්ඝ කාලයක් රෝහල් ගත වී සිටි හාදියා කියනවා සහරා ජස්මින් ගෙ කඩහඩ ප්‍රහරයෙන් පසුව ඇසුණා කියලා. අන්න ඒ කාරණාවත් ජනද්ද සිල්වා කොමිෂන් වාර්තාවට ඇතුළත් කරනවා පොලිස් පරීක්ෂක මායින්කන්ද මහතා. ඔහුට ලැබුණු තොරතුරු අනුව සහරා ජස්මින්ව පොලිස් පරීක්ෂක අබුක්කර්ගේ විසින් රැගෙන යනවා දැක්කා කියලා පොලිස් පරීක්ෂක මානික්කන්ද මහතා කියනවා. IP මානික්කන්ද අද කොහෙද ඉන්නේ. ඔහු ඇමරිකාවේ. අපි අහන්න කැමති මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහත්තයාට ඇමරිකාවේ සිටින මානික්කන්ද ඇමරිකාවට ගියේ කොහොම ද කියලා? හාදියා සම්බන්දව දිලා තියෙන කට උත්තර සම්බන්ධව පරීක්ෂණයක් කරන්න. අබුර්කර් මහත්තයාව නිකරුනේ අත්අඩංගුවට අරගෙන ඔහුගේ රැකියාව නැති වෙලා. විශ්‍රාම වැටුප අහිමි වෙලා ඔහු තැබිලි කපලා ජීවත්වෙනවා. ඇසින් දුටු සාක්ෂි ලෙස මානික්කන්ද ලබා දෙන තොරතුරුවල එක් අයෙක් කොස්තාපල්වරයෙක්. ප්‍රහාරය සිදු වෙද්දි ඔහු ජීවත් වුණේ සයිදමරන්දුවල නෙවෙයි වෙනත් ස්ථානයක. අනිත් කෙනා ලොරි රථ රියදුරුවරයෙක්.
නලින්ද ගේ යාළු කතා
එහෙනම් මේ දෙන්නා ගැන විධිමත් පරක්ෂණයක් කරන්න. ඒ වගේම සහරා ජස්මින් සම්බන්ධව වාර්තා තියෙනවා. ඇයගේ පෙම්වතුන් ගැන වාර්තා තියෙනවා. ඒ පිළිබඳව අධ්‍යයනය කර තොරතුරු ලබා දෙන්න. හිතලු කතා කියන්න එපා. ආණ්ඩුවට සම්බන්ධ නලින්ද ජයතිස්ස මහත්තයා කියනවා සහරා ජස්මින් ඉන්දියාවට ගියා කියලා. ඉන්දියාව සමග යාළු වුණාට පස්සේ කියනවා අපි එහෙම කතාවක් කිව්වේ නෑ කියලා. අපි කියනවා එහෙම සැකයක් තියෙනවනම් ලිපියක් ලියලා ඉල්ලන්න ඉන්දියාවෙන් සහරා ජසමින් ගැන මොනවද දන්නේ කියලා. මෙය සම්පූර්ණ හිතලුවක්.
අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කරන්න එපා
තුන්වන රස පරීක්ෂක වාර්තාවේ චෝදක වෙනුවෙන් උප නියෝජ්‍ය නීති පති යුහාන් අබේවික්‍රම මහත්තයා මඩකලපුව මහාධිකරණ විනිසුරු ගරු ටී. ජේ ප්‍රභාකරන් මහත්තයා ඉදිරියේ ප්‍රකාශයක් කරමින් කියනවා සහරා ජස්මින් මේ වනවිට මිය ගිය ඇති බැවින් තව දුරටත් මේ නඩුව ඉදිරියට කරගෙන යෑම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නෑ කියලා. මේ එම තීන්දුව අධ්‍යයනය කරන්න කියලා ආනන්ද විජේපාල මහත්තයාට අපි කියනවා. අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කරන්න එපා.
චෝදක වෙනුවෙන් මෙම නඩුව අවසන් කරන බව එහි පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ වගේම මඩකළපුවේ මහාධිකරණයෙන් එය අනුමත කරලා තියෙනවා. අධිකරණ තීන්දුව විචේචනය කළ ආනන්ද විජේපාල වහාම අත් අඩංගුවට ගත යුතුයි. මේ තොරතුරු හෙළි කලාට පසු මාව CID කැඳවලා මාව අත්අඩංගුවට ගැනීම නොව කල යුත්තේ; තිබෙන තොරතුරු පිළිබඳව පැහැදිලි පරික්ෂණයක් සිදු කර රටට සත්‍ය හෙළි කිරීමයි. පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හෙළි කිරිමට නොහැකිව බොරු කතා ගොතලා මේ රට රවට්ටන්න බැහැ. ඒ සඳහා සුදානම් නොවන ලෙසත් අපි බොහොම ගෞරවයෙන් යුතුව කියා සිටිනවා.''

