එදා 21ට ඡන්දය දුන් අනුර, ජනපති ලෙස අද එය කඩ කිරීම ගැටලුවක් - චරිත හේරත්

එදා 21ට ඡන්දය දුන් අනුර, ජනපති ලෙස අද එය කඩ කිරීම ගැටලුවක් - චරිත හේරත්

එදා විපක්ෂයේ සිටි අනුර, විජිත, හරිනි තිදෙනාම 21වන සංශෝදනයට අත ඒසවුව ද ඒ 21වන සංශෝධනයේ මුඛ්‍ය අරමුණු තුනෙන් ප්‍රධානම කරුණක් කඩකරන තැනට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ යැයි කටුගම්පල ආසන සංවිධායක මහාචාර්ය චරිත හේරත් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (12) පැවති සමගි ජන බලවේග මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ චරිත හේරත්...

මීට පෙරත් නුසුදුසු පුද්ගලයකුට විගණකාධිපති ධුරය දුන්නෙ නැහැ

‘‘ජාතික ජනබලවේග රජය රටේ පාලන බලය ලබාගෙන වසරකට වැඩි කාලයක් ගතවී තිබෙනවා. රටේ පරිපාලන කේෂ්ත්‍රය සහ මුල්‍ය කේෂ්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී විගණකාධිපති ධුරය රටේ වැදගත් තනතුරක්. ඒ වගේම විගණකාධිපතිවරයා සිටින්නේ ජනාධිපතිවරයා යටතේ නෙවෙයි. ව්‍යවස්ථාව අනුව විගණකාධිපති ධුරය පාර්ලිමේන්තුවට සෘජුව සම්බන්ධ කරලා තිබෙනවා. ජනාධිපති කාර්යාලයත් විගණනය සිදුකරන්නේ විගණකාධිපතිවරයා. ඒ නිසා ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයා විධායකයට යටත් නොකළ තනතුරක්. නමුත් විගණකාධිපතිවරයාගේ පත්කිරීමට පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයා ගේ සම්බන්ධතාවය අවශ්‍ය වෙනවා. ඒ නිසා 17 වන ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක සභාව සහ ජනාධිපතිවරයා එක්වී විගණකාධිපතිවරයා පත්කරනු ලබනවා. ඒ වගේම තමයි විගණකාධිපතිවරයා පත් කිරීමේදී පසුගිය ආණ්ඩු ඒ සඳහා අනිසි ලෙස බලපෑම් කරන්න කටයුතු කළේ නැහැ. මීට පෙර සිටි ජේ.ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, රනිල් ඒ කිසිදු ජනාධිපතිවරයෙකු විගණකාධිපති පත් කිරිමේදී ඒ සඳහා බලපැම් කරන්න කටයුතු කරලා නැහැ. ඒ වගේම තමයි මීට පෙර කිසිදු නුසුදුසු පුද්ගලයෙකුට විගණකාධිපති ධුරයේ රැඳී සිටින්න අවස්ථාව ලැබි නැහැ.

ජවිපෙ කලින් කිව්වෙ මෙහෙම යි

කෙසේ නමුත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විගණනය පිළිබඳව විපක්ෂයේ සිටින විට නිතරම කතා කළා. නමුත් බලය ලබා ගත් පසු මෙම පිරිස විගණකාධිපති ධුරය සමග සිදුකරන්න යන දේ පිළිබඳව පැහැදිලි නැහැ. විපක්ෂයේ සිටින විට ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය කටයුතු කළ ආකාරය අනුව බලය ලබාගත් පසු විගණකාධිපතිධුරය සමග මේ වගේ සෙල්ලමක් වචනයකින් හෝ සිදු කරයි කියලා හිතන්නවත් බැහැ. ඒ වගේම 17 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ව්‍යවස්ථාදායක සභාවක් ඇති කරන්න මුල් වුණෙත් ජනතා විමුක්ති පෙරමුණයි. ඒ වගේම විගණකාධිපති දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයා ගේ බලපෑම් නැවැත්විය යුතුයි කිව්වෙත් ජනතා විමුක්ති පෙරමුණයි.

21 වන සංශෝධනයෙන් පසු වැඩබලන තනතුරක් දිගට ම පවත්වාගෙන යන්න බැහැ

මෙවැනි දේවල් ප්‍රකාශ කළ දේශපාලන ධාරාවට බලය හිමි වුණාට පසුව විධායක ජනාධිපතිධුරය හරහා විගණකාධිපතිවරයෙක් පත් කිරීමට සිදුකරන බලපෑම වැරදියි. 2025.04.08වෙනි දා හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම ගියා. ඒ අනුව ඊළඟට සුදුසුකම් තිබෙන නිලධාරියා විගණකාධිපතිධුරය සඳහා පත්වෙනවා. නමුත් ජාතික ජනබලවේග රජය එම පත්වීම ලබා නොදි 2025.04.09 වැනිදා සිට 2025.04.22වෙනි දා දක්වා වැඩබලන විගණකාධිපතිවරයෙකු පත් කරනු ලැබුවා. එය ව්‍යවස්ථාදායක සභාව අනුමත කරනු ලැබුවා. 2025.04.23 සිට 2025.05.23 වනතුරු නැවත වැඩබලන විගණකාධිපතිවරයාගේ කාලය දීර්ඝ කරනු ලැබුවා. ඉන්පසුව 2025.05.23 සිට 2025.11.23 වනතුරු නැවත වැඩබලන විගණකාධිපතිවරයාගේ කාලය දීර්ඝ කරන්න කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් විගණකාධිපති ධුරය සඳහා වැඩබලන විගණකාධිපතිවරයෙකු පත් කරන්න 21 වැනි සංශෝධනයට පෙර හැකියාව තිබුණත්, 21 වන සංශෝධනයෙන් පසු එලෙස දිගටම වැඩබලන තනතුරක් ලෙස පවත්වාගෙන යන්න බැහැ. මෙවැනි බරපතල තනතුරක් සඳහා වැඩබලන නිලධාරියෙකු පත් කිරීම ප්‍රශ්නයක් නිසා වැඩබලන විගණකාධිපතිවරයෙකු පත් කිරීම 21 වන සංශෝධනයේදී ඉවත් කරනු ලැබුවේ.

හමුදා නිලධාරියකු පත් කිරීම සුදුසු නැහැ

ඒ අනුව වර්තමාන ව්‍යවස්ථාදායක සභාව නිවැරදියි. මම ඔවුන්ට ස්තුති කරනවා ඒවගේ නිවැරදි තීරණ ගැනීම ගැන. වැඩබලන විගණකාධිපතිවරයෙකු පත් නොකරන ලෙස ඔවුන් රජයට දැනුම් දී තිබෙනවා. වැඩබලන විගණකාධිපතිවරයෙකු තුන් වතාවක් පත් කර තිබෙනවා. ඒ වගේම වැඩබලන විගණකාධිපතිවරයෙකු පත් කිරීමට නීතිමය පදනමක් ද නැහැ. කෙසේ නමුත් රජය විගණකාධිපතිධුරය සඳහා නමක් යෝජනා කර තිබුණා. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි උසස් නිලධාරියෙක්. මීට පෙර විගණකාධිපතිධුරය සඳහා පිටතින් පුද්ගලයන් තිදෙනෙක් පත් කර තිබුණා. ඔවුන් සිවිල් කේෂ්ත්‍රයේ සිටි දක්ෂ නිලධාරීන්. විගණකාධිපතිධුරය සිවිල් ක්ෂේත්‍රයේ තිබෙන ඉහළම තනතුරක්. ඒ තනතුරට හමුදා නිලධාරියෙකු පත් කිරීම සුදුසු නැහැ. ඒ අනුව රජය විසින් විගණකාධිපතිධුරය සඳහා යෝජනා කළ නම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉන්පසුව නැවත රජය විසින් වැඩබලන විගණකාධිපතිවරයෙකු පත් කිරීම සඳහා එල්. එස්. අයි. ජයරත්න මහත්මිය ගේ නම යෝජනා කළා. ඒ නමුත් ව්‍යවස්ථාදායක සභාව එය ප්‍රතික්ෂේප කළා.

ඉතිහාසයේ පළමු වතාවට විගණකාධිපතිවරයෙක් නැති රටක්

කෙසේ නමුත් පළමු වතාවට 2025.12.07 වැනිදා සිට මේ වනතුරු රටේ විගණකාධිපතිවරයෙක් නැහැ. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට විගණකාධිපතිවරයෙක් නැති රටක් බවට පත් වෙලා. මෙය වැරදි කටයුත්තක්. මේකේ යටි අරමුණකුත් තියෙන්න පුලුවන්, ඒ තමයි, ව්‍යවස්ථාදායක සභාවට ජනවාරි මාසය අවසානයේ අලුතින් පත්කිරීම් සිදුවෙන්න නියමිතයි, ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ සිටින සිවිල් සංවිධාන ක්‍රියාකාරින් වෙනුවට ආණ්ඩුවට හිතවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරින් අලුත් ව්‍යවස්ථාදායක සභාවට පත් කරන්න ආණ්ඩුව උත්සහයක නිරත වන බවක් පෙනෙන්න තිබෙනවා. මේ හේතුවෙන් විගණකාධිපති පත් කිරීම දවසින් දවස කල් දමන්නේ මේ හේතුව නිසා වෙන්නත් පුලුවන්.

අනිසි බලපෑම් එල්ල කිරීම අනුමත කරන්න බැහැ

කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ පිරිස රටේ රාජ්‍ය පාලනය ප්‍රමිතියකින් යුක්තව සිදුකරයි කියල බලාපොරොත්තුව රටේ ජනතාව තුළ තිබුණා. ඒ වගේම ජාතික ජනබලවේගය යහපත් පාලනයක් සහිත ආකෘතියක් රට තුල ස්ථාපිත කරවි යැයි කියන බලාපොරොත්තුව රටේ ජනතාව සතුව තිබුණා. ඒත් මේ විදිහට විගණකාධිපති දෙපාර්තමේන්තුවට අනිසි බලපෑම් එල්ල කිරීම අනුමත කරන්න බැහැ. රජය විගණකාධිපතිධුරය සමඟ කරන සෙල්ල වහාම නතර කළ යුතුයි. ඒ වගේම රටේ සෑම රාජ්‍ය ආයතනයකම විගණකාධිපතිවරයාගේ නිලධාරියෙකු සිටිනවා. ඔහු සිටින්නේ එම රාජ්‍ය ආයතනයේ ප්‍රධානියා යටතේ නෙවෙයි. ඔවුන් වගකියන්නේ රටේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට. විගණකාධිපතිවරයා වගකියන්නේ ජනාධිපතිවරයාට නෙවෙයි පාර්ලිමේන්තුවට. මෙය ඉතාමත් හොද ක්‍රියාවලියක්. නමුත් මේ ක්‍රියාවලිය දැන් බිඳවැටී තිබෙනවා.

මේක වැරදියි; මේක කරන්න එපා

ඒ වගේම අලුත් මුල්‍ය වර්ෂය ජනවාරි 1වෙනි දා සිට ආරම්භ වුණා, ඒ අනුව රාජ්‍ය ආයතනවල උපමාන ලබාදිය යුතුව තිබෙනවා. චක්‍රලේඛන නිකුත් කිරීම කළ යුතුව තිබෙනවා. විගණනය සම්බන්ධ විවිධ තිරණ ගැනීමට නියමිතව තිබෙනවා. නමුත් මේ කිසිදු තිරණයක් මේ වනතුරු ගෙන නැහැ. ආණ්ඩුවට මේ පිළිබඳව කිසිදු වගකීමක් නැහැ. රජයට අවශ්‍ය වන්නේ ඔවුන්ට හිතවත් ගැති පුද්ගලයෙකු විගණකාධිපතිධුරය සඳහා පත් කර ගැනීම පමණයි. එය සම්පුර්ණයෙන් වැරදි කටයුත්තක්. ඒ වගේම පසුගිය ආණ්ඩු අධිකරණ පද්ධතියට, නිතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගහලා විශාල අවුල් ඇතිකර ගත්තා. ඒ වගේ මේ ආණ්ඩුව විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඇගිලි ගහනවා. මේ කරන්න යන වැඩේ වැරදියි. මහදවල් රාජ්‍ය පාලනය සම්බන්ධ දේශපාලනයක් මේ කරන්නේ. මේක වැරදියි; මේක කරන්න එපා. විගණකාධිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය කරන්න එපා. විගණකාධිපති ධුරය සඳහා ඊළඟට සිටින සුදුස්සාව වහාම පත් කරන්න. ශ්‍රී ලංකාව විගණනයක් තිබෙන රටක් බවට පත් කරන්න ආණ්ඩුව වහාම පියවර ගත යුතුයි.

කෝප් සහ කෝපා කඩා වැටිලා

ඒ වගේම කෝප් කමිටුව සහ කෝපා කමිටුව සම්පුර්ණයෙන් ම කඩාගෙන වැටිලා තිබෙනවා. ඒ සඳහා ප්‍රධාන හේතුව වන්නේ විගණකාධිපතිවරයෙක් නොමැති විමයි. ඒ වගේම 21 වන සංශෝධනයේ කේන්ද්‍රිය අදහස් තුනක් තිබුණා. රටේ තිබෙන ඉහළ තනතුරුවලට වැඩබලන පුද්ගලයන් අහෝසි කිරිම එයින් ප්‍රධාන කාරණයක්. මේ සඳහා ජාතික ජනබලවේගය වෙනුවෙන් එදා විපක්ෂයේ සිටි අනුර, විජිත, හරිනි තිදෙනාම අපිත් එක්ක 21ට අත ඉස්සුවා. ඒ 21 වන සංශෝධනයේ මුඛ්‍ය අරමුණු තුනෙන් ප්‍රධානම කරුණක් කඩකරන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. එය සිදුනොකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න