වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන්ව එම තනතුරෙන් ඉවත් කර එම තනතුර සඳහා ඝනක හේමචන්ද්‍ර පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගත් තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ ධුරයේ කටයුතු කළ ප්‍රහාත් මලවිගේ විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම මේ මස 26වෙනි දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (13 වැනිදා) නියෝග කළේ ය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව මෝසමක් ඉදිරිපත් කර තිබෙන අතර ඊට අදාළව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා ය.
මෙම පෙත්සම ඉකුත් දෙසැම්බර් මස 19වෙනි දා විභාගයට ගැනීමට නියම කළ අවස්ථාවේ දී විවෘත අධිකරණයේ කරුණු දැක්වූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය සඳහා වැඩ බලන පුද්ගලයකු නම් කර මෙම පෙත්සම්කරු සහ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා ඔවුන් කලින් දැරූ තනතුරුවලට පත් කිරීම සුදුසු බවට යෝජනා කර තිබිණි.
එම යෝජනාව සම්බන්ධයෙන් ඊයේ සභාපති විනිසුරුවරයා කළ විමසීමේ දී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම්කරු අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් වග උත්තරකරුවන් යෝජනා ඉදිරිපත් කර නාමාවලිය ඇති බවයි.
එහි දී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරිය කියා සිටියේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා එම ධුරයේ කටයුතු කරමින් සිටිය දී සේවාදායකයා ඊට පහළ තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව යි.
එම අවස්ථාවේදී යළි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඇමතූ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට වැඩ බලන පුද්ගලයකු පත් කර මෙම නඩු විභාගය පැවැත්වීම වඩා සුදුසු බව යෝජනා කළේ ය.
එම අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ගේ සංශෝධනය කර නොමැති වීම හේතුවෙන් තමන්ට විෂය භාර අමාත්‍යවරයා ගෙන් උපදෙස් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. ඒ අනුව පෙත්සමේ වග උත්තරකරුවන් ගේ නාමාවලිය දින දෙකක් තුළ සංශෝධනය කරන ලෙස පෙත්සම්කරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම යළි ජනවාරි මස 26වෙනි දා කැඳවන දෙස නියෝග කළහ.
එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට නියම කරන ලදී.
කේ. එස්. උදය කුමාර - අරුණ පුවත්පත


