ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 173% ක වර්ධනයක්

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 173% ක වර්ධනයක්

වසර 53 කට අධික කාලයක් පුරා  තර.කාරී මිල ගණන් යටතේ ගුණාත්මක බව සහතික කළ ඖෂධ මෙරට සෞඛ්‍ය සේවාව වෙත සැපයීමට සහ ජනතාවට දැරිය හැකි මිලකට ලබාදීමට කටයුතු කරන ශ්‍රී ලංකා  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (State Pharmaceuticals Corporation of Sri Lanka - SPC) 2025 වසරේ  සිය  මූල්‍ය කාර්ය සාධනයේ සුවිශේෂී ප්‍රගතියක් වාර්තා කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2025 වසරේ ප්‍රගති සංක්ෂිප්ත වාර්තාවට අනුව 2024 ට සාපේක්ෂව, 2025 වසරේ ආදායම් බදු සහ භාණ්ඩාගාර බද්ද හරහා රජයට ලබාදුන් දායකත්වය රුපියල් මිලියන 1,118 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 173% ක වර්ධනයක් සනිටුහන් කරන බව ද  ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පෙන්වා දෙයි.

ජීවනී නිෂ්පාදන අලෙවි ආදායම (ORS) 26% කින් ඉහළට

ඉතිහාසයේ පළමු වතාවට, DHS supplies සැපයුම් සඳහා ඉන්ඩෙන්ට් නිකුත් කිරීම හරහා 2025 වසර සඳහා වාර්ෂික අරමුදල් වෙන්කිරීමෙන් 100% ක උපයෝජනයක් ලබා ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හැකි වී ඇති අතර,  ජීවනී නිෂ්පාදන (ORS) 36% කින් වර්ධනය වූ බවත්, පසුගිය වසරට (2024) සාපේක්ෂව ජීවනී නිෂ්පාදන අලෙවි ආදායම (ORS) 26% කින් වැඩි වී ඇති බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පෙන්වා දෙයි.

2024 ට සාපේක්ෂව ශ්‍රී ලංකා  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල ආදායම ද 09% කින් වර්ධනය වී ඇති අතර, එහිදී කිරිබත්ගොඩ, නාරාහේන්පිට, කෑගල්ල, කල්මුනේ සහ මඩකලපුව යන ප්‍රදේශවල නව ඔසුසල ශාඛා 05 ක් පිහිටුවීම සහ අඛණ්ඩ කාර්ය සාධනයේ වැඩිදියුණු කිරීම් සමඟින් බොහෝ අලෙවිසැල් ලාභදායී වී ඇත.

රට පුරා සෞඛ්‍ය කඳවුරු සහ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්

ඖෂධවල ගුණාත්මකභාවය සහ ආරක්ෂක ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම සඳහා ISO 17025 රසායනාගාර ප්‍රතීතන ක්‍රියාවලිය  (laboratory accreditation process) ද ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආරම්භ කර ඇත. එමෙන් ම ආයතනික සමාජ වගකීම් (CSR) මුලපිරීම්වල කොටසක් ලෙස, රට පුරා සෞඛ්‍ය කඳවුරු සහ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ද  සංවිධානය කරමින් සබුද්ධික ඖෂධ භාවිතය පිළිබඳව ප්‍රජාවන් දැනුවත් කිරීම සහ වඩා හොඳ සෞඛ්‍ය පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම් වැනි වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇත.

අදියර හතරක දී සම්පූර්ණ තත්ත්ව පරීක්ෂාවක්

ඖෂධ, ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය, රසායනාගාර රසායනික ද්‍රව්‍ය සහ උපකරණ සපයන ආනයකරු ලෙස, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන සඳහා විශ්වාසදායක හවුල්කරුවකු ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සිය මූලික මෙහෙයුම්වලට අමතරව, අත්‍යවශ්‍ය ඖෂධ සඳහා ප්‍රවේශය සහතික කරමින්, රට පුරා ප්‍රජාව සේවය කරන රාජ්‍ය ඔසුසල් ජාලය අධීක්ෂණය කිරීම ද සිදු කරයි. රාජ්‍ය ඔසුසල් වෙත නිකුත් කරන සියලු ම ඖෂධ වෙළඳපොළට නිකුත් කිරීමට පෙර  ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අති නවීන රසායනාගාර මගින් අදියර හතරක දී සම්පූර්ණ තත්ත්ව පරීක්ෂා සිදු කරන අතර, සෑම නිෂ්පාදනයක් ම ආරක්ෂාව සහ කාර්යක්ෂමතාවේ ඉහළම ප්‍රමිතීන් සපුරාලන බව ද  සහතික කරනු ලබයි.

කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටලු පිළිබඳ අමාත්‍යවරයා ගේ අවධානය

ශ්‍රී ලංකා  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මෙහෙයුම් කටයුතු 2025 වසරේ කිහිපවරක් ම පෞද්ගලිකව ම නිරීක්ෂණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඖෂධ සැපයුම් කටයුතු සහ එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය ද යොමු කළේ ය.  එහි දී ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන් ම ජාවාරමක් බවට ද වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටලු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියලු ම සේවකයින් ධෛර්වත් කිරීමටත්, ඔවුන් ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය සෑම විටම පෙනී සිටින බව ද තහවුරු කරමින් අවශ්‍ය මගපෙන්වීම් සිදු කළේ ය. 

2026 වසර තුළ ද ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සිය මෙහෙයුම් ජාලය තවත් පුළුල් හා ශක්තිමත් කරමින් සිය ආයතනයේ කාර්ය සාධනයේ ප්‍රගතීන් අත්පත් කර ගැනීමට නිරතුරුව කැපවන බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුජ් සී වීරසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ එම්. එල්. සුබසිංහ ආරච්චි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පෙන්වා දෙයි.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

WhatsApp Image 2026 01 15 at 9.39.04 AM 1WhatsApp Image 2026 01 15 at 9.39.03 AM

Screenshot 2026 01 15 153223Screenshot 2026 01 15 153229

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න