ශ්‍රමයේ අභිමානය සහ සොබාදහමෙන් ලද රැකවරණයට කෘතඥතාව පළ කරන උදාර සංස්කෘතික සම්ප්‍රදායක් සනිටුහන් කරමින්, ලෝකවාසී හින්දු ජනතාව සමරන තෛපොංගල් උත්සවයේ ජාතික සැමරුම අග්‍රාමාත්‍ය හරිණි අමරසූරියගේ සහභාගීත්වයෙන් අද (15) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මෙම සැමරුම සංවිධානය කර තිබුණේ අග්‍රාමාත්‍ය කාර්යාලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව ය.
මෙහි දී අග්‍රාමාත්‍යවරිය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගේ මූලිකත්වයෙන් තෛපොංගල් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කෙරුණු අතර, හින්දු සංස්කෘතිය සහ සම්ප්‍රදාය විදහා දක්වන විචිත්‍රවත් සංස්කෘතික අංග රැසකින් උත්සවය සමන්විත විය.
ජනාධිපතිවරයා ගේ තෛපොංගල් සුබපැතුම් පණිවුඩය ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි...
"මෙම අවස්ථාව හින්දු ජනතාවගේ ඉතා වැදගත් ආගමික උත්සවයක්. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු අංශ රැසක දායකත්වයෙන් සංවිධානය වූ මෙම ඓතිහාසික තෛපොංගල් සැමරුම අප සැමට මහත් සතුටක්. විශිෂ්ට ලාංකේය අනන්‍යතාව විදහා දක්වන මෙම මොහොතේ, ශ්‍රී ලංකාව ගොඩනැගීමේ ප්‍රාර්ථනය පෙරදැරිව සිටින සමස්ත ශ්‍රී ලාංකිකයන්ට සහ ලෝකවාසීන්ට මෙම තෛපොංගල් දිනයේ ආශිර්වාදය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා."
සැමරුම් උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ: මෙවර තෛපොංගල් දිනයේ දී සමගිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සෑම ප්‍රජාවකගේම සංස්කෘතික හා ආගමික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මත පදනම් වූ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීමට සියලු ශ්‍රී ලාංකිකයන්ට ඇරයුම් කරන බවයි.
තෛපොංගල් සැමරුමේ මූලික හරය වන උත්සාහය, ඉවසීම සහ පරිසරයට ගරු කිරීම යනාදි ගුණාංග පෙරදැරිව රටක් ලෙස ඉදිරියට යෑමේ වැදගත්කම ද ඇය අවධාරණය කළා ය.
රට නව යුගයක් වෙත ගමන් කරමින් සිටින මේ මොහොතේ, රජයක් ලෙස ප්‍රතිපත්තිමය හා ආකල්පමය ප්‍රතිසංස්කරණ මගින් රට යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම භාරගෙන ඇති බවත්, එය අභියෝගාත්මක වුව ද අත්‍යවශ්‍ය කාර්යයක් බවත් අග්‍රාමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළාය.
"තෛපොංගල් දිනය තුළින් සාමූහිකත්වයේ වැදගත්කම, සොබාදහම සමඟ ඇති බැඳීම සහ එදිනෙදා කටයුතුවලදී කෘතඥපූර්වක වීමේ අගය අපට සිහිපත් කර දෙනවා. අද දින මෙම ජාතික උත්සවය මෙලෙස සැමරීමට ලැබීම පිළිබඳව මා සතුටු වන අතර, මෙයට සහභාගී වූ ඔබ සැමටත් සමස්ත හින්දු ජනතාවටත් සුබ තෛපොංගල් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා."
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය සහ හින්දු ආගමික පූජකවරුන් ඇතුළු සර්වාගමික නායකයින් ද, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, සම්භාවනීය ආරාධිත අමුත්තන්, හින්දු බැතිමතුන් සහ පාසල් දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

