හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක (Catheterization Laboratory) ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද (15) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පෞද්ගලික ධන පරිත්‍යාගයක්
ඇමරිකාවේ පදිංචි බෙනට් පෙරේරා සහ ඔහුගේ බිරිඳ වන නීලමනී පෙරේරා විසින් සිය මියගිය පුතණුවන්ට පිං පිණිස පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදිකරදීමට කටයුතු කරනු ඇත.
රුපියල් මිලියන 80 ක පමණ වියදමකින් රෝහලේ හෘද රෝග ඒකකය අසල මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීම අද සිදුවු අතර ඇමරිකාවේ පදිංචි බෙනට් පෙරේරා මහතා සහ එම මැතිණිය සූමි තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ විය.
ලබන වසර වන විට කැත් රසායනාගාර 14ක්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් මෙරට රෝහල් පද්ධතිය තුළ මේ වසරේ කැත් රසායනාගාර 07 සමග ලබන වසර වන විට මෙරට රෝහල් තුළ තැත් රසායනාගාර 14ක් ස්ථාපිත කරමින් හෘද රෝගී ප්‍රතිකාර ශක්තිමත් කරන බව පැවසී ය. මෙම වසරේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී ප්‍රතිකාර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ වන බවත්, 2028 රේ එහි ඉදිකිරීම් අවසන් කර හෘද රෝගී ප්‍රතිකාර සේවා ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.
වැඩිහිටි ජනගහනයෙන් 34% කට හෘද රෝග
මෙහි දී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා), විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2022 දත්ත අනුව මෙරට වැඩිහිටි ජනගහනයෙන් 34% කට හෘද රෝග ආශ්‍රිත රෝගාබාධ වන බවත්, නිවැරදිව ප්‍රතිකාර ලබාගෙන රෝග පාලනය වී තිබෙන්නේ 25% ක ප්‍රමාණයක පමණක් බවයි. මෙරට රෝහල් සායන සඳහා සහභාගිවන රෝගීන් අතරින් විශාල ප්‍රමාණයක් හෘද රෝගවලට අදාළ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන බව වාර්තාවන බැවින් එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවා සැපයීමට මෙවැනි ඒකක අත්‍යාවශ්‍ය වන බව ද පැවසීය.
හම්බන්තොට මෙතෙක් නොතිබුණු පහසුකමක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම මෙහි දී අදහස් දක්වමින් පැවසුවේ මෙරට රෝහල් තුළ හෘද රෝගී ප්‍රතිකාර සඳහා කැත් යන්ත්‍ර 11ක් වන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් අනුව 2026 වසරේ රත්නපුර, මඩකළපුව, බදුල්ල, කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් 07 ක අළුතින් කැත් යන්ත්‍ර 07 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව පැවසී ය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලක්ෂ 07 ක පමණ ජනගහනයක් වන අතර, දිස්ත්‍රික්කයේ කිසිදු රෝහලක හෘද කැතීටකරණ ඒකකයක් නොමැතිවීම විශේෂත්වයකි.
රෝහලේ භූගෝලීය පිහිටීම අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය හා අවට පළාත්වල විශාල ජනතාවකට මෙම හෘද කැතීටකරණ ඒකකයෙන් ප්‍රතිකාර සේවා ලබාගැනීමට හැකිවන අතර, හෘද රෝග සම්බන්ධ සුවිශේෂී ප්‍රතිකාර සේවා සඳහා ගාල්ල කරාපිටිය සහ කොළඹ ජාතික රෝහල වෙත යොමු කරන රෝගීන් ප්‍රමාණය විශාල ලෙස අවම කර ගැනීමට ද මෙමගින් අවස්ථාව හිමි වේ. එමෙන්ම පළමු අවස්ථාවේ ම කඩිනම් ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ප්‍රතිකාර නොමැතිකමින් අහිමිවන ජිවිත රැසක් ආරක්ෂා කර ගැනීමට ද මෙමගින් අවස්ථාව හිමි වේ.
මෙම අවස්ථාවට පූජ්‍ය කහඳ අමරබුද්ධි නා හිමි ඇතුළු මහා සංඝරත්නය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා), විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, නාවික හමුදාවේ දකුණු ප්‍රදේශය භාර ආඥාපති කපිතාන් වීරසූරිය, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජයවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ තිළිණ විජේතුංග යන අය සහ ඇමරිකාවේ පදිංචි බෙනට් පෙරේරා ගේ පවුලේ ඥාතීන් මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද, ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ)


