දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ගංවතුර සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහය දැක්වීමේ පියවරක් ලෙස බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ රජය විසින් අධි ධාරිතාවයෙන් යුත් ජල පවිත්‍රකරණ ඒකක 10ක් පරිත්‍යාග කරන ලදී.
ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති කාර්යාලයේ ප්‍රධානී මොනිකා මාරියා මයිරෙල්ස් නසාර් විසින්, මෙම පරිත්‍යාගයට අදාළ නිල ලේඛන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී 2026 ජනවාරි 09වන දින නිල වශයෙන් භාර දෙන ලදී.
දිනකට ලීටර් 10,000ක් පිරිපහදු කිරීමේ ඒකීය ධාරිතාවක් ඇති ජල පවිත්‍රකරණ ඒකක, දිනකට ආසන්න වශයෙන් 7,000කට පමණ පිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සපයනු ඇත. ක්ෂණික ආපදා සහනවලට අමතරව, මෙම තාක්ෂණය පාසල් සහ රෝහල් වැනි පොදු යටිතල පහසුකම් සඳහා දිගුකාලීන සැලසුමක් ලෙස හඳුන්වා දී ඇත.
පරිත්‍යාගය ලබා ගනිමින්, දෙරටේ ශක්තිමත් ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය සහ මානුෂීය සහයෝගීතාව සඳහා වූ හවුල් කැපවීම පිළිබිඹු කෙරෙන බ්‍රසීලයේ කාලෝචිත සහාය වෙනුවෙන් අමාත්‍ය හේරත් සිය කෘතඥතාව පළ කළේ ය.

