ෆාමසි හිමිකරුවකු මත් ද්‍රව්‍ය  සහ අසභ්‍ය වීඩියෝ ජාවාරමක

ෆාමසි හිමිකරුවකු මත් ද්‍රව්‍ය  සහ අසභ්‍ය වීඩියෝ ජාවාරමක

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බොහෝ පිරිස් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට අත මිට මුදල් නැති කළ විවිධ වර්ගයේ මත්පෙති සහ මත් කරල් පානයට පුරුදුව සිටිති.

මෙම පෙති සහ කරල් පානය කිරීමෙන් එදිනෙදා ‘සික්’ එක නිවා ගැනීමට ඔවුහු සැරසෙති. මෙවන් මත්කරල් සහ මත්පෙති සිල්ලරට ගත නොහැකි අතර ඒවා සමහරක් ඔසුසල් සහ ෆාමසිවලින් මිල දී ගැනීමට මොවුන් පෙලඹී සිටී. වෙනත් රෝග කාරක සඳහා වෛද්‍ය නිර්දේශය මත මෙම කරල් සහ පෙති ලබා දීම සිදුකෙරෙන හෙයින් වෛද්‍යවරයකු ගේ නිර්දේශය සහිත තුණ්ඩුවක් නොමැතිව මෙම කරල් සහ පෙති විකිණීම ද තහනම් ය.

අමුතු ම තාලයේ කතාවක්

ඒ කෙසේ වෙතත්, සමහරක් මත්ලෝලීන් තම ‘සික්’ එක නිවා ගන්නේ ‘ෆාමසි’වල සේවය කරන ඇතැම් ෆාමසි සහායකයින් හෝ ඖෂධවේදීන් ලවා වෛද්‍ය නිර්දේශ නොමැතිව මෙම කරල් සහ පෙති ලබාගෙන පානය කිරීමෙනි. මේ බව දත් ඖෂධශාලාවල සේවය කරන පිරිස් ද මෙම කරල් සහ පෙති ලොකු මුදලකට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට අලෙවි කරති. මෙවන් ස්ථාන රැසක් පසුගිය කාලය පුරාම පොලිසිය විසින් වටලා අත්අඩංගුවට ගත්ත ද මෙම තහනම් ක්‍රියාවේ තවත් බොහෝ පිරිස් යෙදී සිටින බව නොරහසකි. මෙවන් වැටලීමක් ඊයේ හලාවත පොලිසිය විසින් ද සිදු කරන ලද අතර එහිදී අනාවරණය වන්නේ අමුතුම තාලයේ කතාවකි.

හලාවත, මයික්කුලම ප්‍රදේශයේ පවත්වාගෙන යන ෆාමසියක් භාර ඖෂධවේදියකු කලක් තිස්සේ මෙම මත් කරල්, මතට ඇබ්බැහි වූ තරුණයන්ට අලෙවි කළ ද ඔහුව කොටු කර ගැනීමට පොලිසියට හැකිව නොතිබිණි. ඒ ඔහු ඉතා සූක්ෂ්ම ලෙස මෙම ජාවාරම කරන හෙයිනි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මෙම ජාවාරම සම්බන්ධයෙන් සොයා බලන ලෙස හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැවරී ය.

ඒ අනුව, එම ඒකකයේ වැඩබලන ස්ථානාධිපතිවරයා සහ පොලිස් පරීක්ෂක ජයරත්න ඇතුළු කණ්ඩායමක් මෙම ෆාමසිය පිළිබඳ ආවේක්ෂණ රාජකාරි කරමින් විමර්ශනයක් ඇරඹූහ. එහි දී අනාවරණය වන්නේ, මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන්ට මත්කරල් අලෙවි කිරීමේ යෙදෙන බවට සැක කරන ෆාමසිය ඒ වන විට වසා දමා ඇති බවකි. ඒ, ඉකුත් දා පැවති ගංවතුර හේතුවෙනි.

මත් ‌ලෝලින්ට ෆාමසියේ දී ම ප්‍රතිකාර

කෙසේ වෙතත්, විමර්ශන අත් නොහළ නිලධාරීන් අදාළ ෆාමසිය භාර ඖෂධවේදියා සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් අරඹා ඇත. එම විමර්ශනයේ දී අනාවරණය වන්නේ ඖෂධවේදියා, ෆාමසිය තුළ දී මතට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර ලබා දී ඇති බව ය.

‘සික්’ එක පාලනය කර ගැනීම සඳහා මත්කරල් අවශ්‍ය වූ විට බොහෝ පිරිස් මෙම ඖෂධවේදියා සොයා හලාවත, මයික්කුලම ප්‍රදේශයේ ස්ථාපිත ෆාමසියට යන බවත්, එහිදී  ඔහු මත්කරල් පානය කිරීමට ලබා දී මුදල් අයකර ගන්නා බවටත් තොරතුරු ලැබී ඇත. එමෙන්ම මෙම පුද්ගලයා අයිස්, හෙරොයින් ආදිය අලෙවි කරන බවට සැක කෙරෙන තොරතුරු ද නිලධාරීන්ට ලැබී ඇති බව පැවසේ. ඒ අනුව, මොහු සොයා විමර්ශන කරද්දී අනාවරණය වී ඇත්තේ, මොහු කුලියට ගත් මෝටර් රියකින් එම මත්කරල් සහ මත්පෙති අදාළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට මිල දී ගැනීම සඳහා ප්‍රවාහනයේ ද යෙදෙන බවකි.

වාහනයේ මත් ද්‍රව්‍ය

මේ අනුව සැකකාර ඖෂධවේදියා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි අවස්තාවක හලාවත නගරයේ දී අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකිව ඇත. ඒ,  ඔහු ගේ ගෝලයකු ද සමගිනි. එම අවස්ථාවේ නිලධාරීන් එම මෝටර් රථය සෝදිසියට ලක් කර ඇති අතර එහි තිබී හෙරොයින් සහ මත්කරල් වර්ග දෙකක් ද සොයා ගැනීමට නිලධාරීන් සමත් වී තිබේ. ප්‍රශ්න කිරීමේ දී මොහු පවසා ඇත්තේ, ලොකේෂන් ක්‍රමයට ලබා ගන්නා හෙරොයින් පැකට් කර මෙලෙස අවශ්‍ය වූවන්ට ගෙන ගොස් ලබා දෙන බවකි.

ජංගම දුරකතනය තුළ තවත් රහස්

මේ අතර, නිලධාරීන් මොහු සන්තකයේ තිබු ජංගම දුරකතනය ද සිය බාරයට ගෙන ඇත. එය පරීක්ෂා කිරීමේදී හෙළිව ඇත්තේ, ඔහු විසින් සිදු කරන ලද මීටත් වඩා බරපතළ ක්‍රියාවකි. ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් පැවැසුවේ එම ජංගම දුරකතනයේ තිබී හමු වූ වීඩියෝ දර්ශන අතර මොහු විසින් තරුණියන් කිහිප දෙනෙකු සමග ලිංගික සබඳතා පවත්වන දර්ශන ඇති බව ය. එම තරුණියන් ද සිහිවිකල්ව හැසිරෙන බව ත් ඒ අනුව පොලිස් විමර්ශකයන් සැක කරන්නේ කිසියම් මත්ද්‍රව්‍යයක් පානයට දී සැකකරු එම තරුණියන් සමග ලිංගික ක්‍රියා මෙන් ම නිරුවත් රූප ලබා ගෙන ඇති බව ය. එහි ඇතැම් දර්ශන අතර මෙම සැකකරු විසින් එම තරුණියන් ලිංගික ක්‍රියා සිදුකරද්දී පවා එම තරුණියන්ට ඒ බව නොතේරෙන බවත් ඒ අනුව නිලධාරීන් සැක කරන්නේ මෙම තරුණියන්ට ද මත්ද්‍රව්‍ය පානය කිරීමට ලබා දී ඇති බවකි.

සැකකරු ද මත්ද්‍රව්‍ය ලෝලියෙකි

මෙවන් තරුණියන් දහදෙනෙකුට ආසන්න සංඛ්‍යාවකගේ නිරුවත් දර්ශන සහ වීඩියෝ ඔහුගේ ජංගම දුරකතනයේ තිබී සොයාගෙන ඇති අතර ඒ අතර ෆාමසිවල සේවය කළ තරුණියන් ද සිටින බව විමර්ශන නිලධාරීන්ගේ සැකය වී තිබේ. කෙසේ වෙතත්, මේ වන විට එම තරුණියන් සිවු දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට හලාවත කාන්තා සහ ළමා කාර්යාංශය ද විමර්ශනයක් අරඹා ඇත. සැකකරු ද මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවෙකු බව විමර්ශන නිලධාරීන් පවසයි. වසර දෙකකට අධික කාලයක් සැකකරු මෙම මත්ද්‍රව්‍ය සහ මත්කරල් විකිණීමේ යෙදී ඇති අතර මතට ඇබ්බැහි වූවන් අතර මොහු ප්‍රසිද්ධියට පත් වූ අයකු බවද වාර්තා වේ.

මත් කරලක් රුපියල් 400කට ආසන්න මුදලකට අලෙවි කර ඇති මොහු වෛද්‍ය පරීක්ෂණයකට ද යොමුකර ඇත.

සැකකරු ඊයේ (ජන. 15) හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා ගේ උපදෙස් මත පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද ගේ මෙහෙයවීමෙන් හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විරාජ් සහ පොලිස් පරීක්ෂක එල්. ජයරත්න ප්‍රමුඛ සැරයන් රාජපක්ෂ (61160), කොස්තාපල් සුමුදු (82069) සහ මනුරංග (84288) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

 

( mawbima - Keerthi Mendis)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න