මේ රටට ගැළපෙන දියුණු පුරවැසියෙකු බිහි කිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය තහවුරු කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බවත්, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා විෂය මාලා වෙනසක් පමණක් නොව සිසුන්ට හා ගුරුවරුන්ට ලැබිය සියලු යටිතල පහසුකම් සලසමින් ආරම්භ කළ යුතු බැවින් එය යම් කාලයක් ගතවන දවැන්ත කාර්යයක් යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ දිටිවා සුළි කුණාටුවෙන් දැඩි හානි සිදුවූ හලාවත සේනානායක ජාතික පාසල නිරීක්ෂණය කිරීමට සහභාගි වීමෙන් අනතුරුව සමස්ත ලංකා ජයග්‍රහණ හිමිකරගත් හලාවත සේනානායක ජාතික පාසලේ දරුවන් වෙනුවෙන් පදක්කම් සහ සහතික ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
එම අවස්ථාවේ දී දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය...
නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වූවෝ
''ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීම සම්බන්ධයෙන් මේ පාසලට විශාල උරුමයක් තිබෙනවා, මේ පාසල කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ගෙන ඒමේ දී ආරම්භ කරන ලද මුල් පාසල් පද්ධතියට ඇතුළත් වූ පාසල් 54 ට අයත් එකක්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ගෙන ආවේ විශාල දර්ශනයක් මතයි. එමගින් බලාපොරොත්තු වූයේ රටට අවශ්‍ය දියුණු පුරවැසියකු ගොඩනැගීමට ගුණාත්මක අධ්‍යාපනය සඳහා අවශ්‍ය ප්‍රවේශය තහවුරු කිරීමයි. අද මෙන්ම එදත් පෞද්ගලික ප්‍රතිලාභ ලබා ගත් පිරිස් නිදහස් අධ්‍යාපනයට ප්‍රබල ලෙස විරුද්ධත්වය දැක්වූවා. මම පාර්ලිමේන්තුවට පත් වූ පසු පාර්ලිමේන්තු පුස්තකාලයේ ඇති නිදහස් අධ්‍යාපනය ගෙන ඒමේ දී පැවැත් වූ පාර්ලිමේන්තු වාද විවාදයන් කියවා බැලුවා. ඒවායේ සඳහන් වෙනවා සමහර නායකයන් ගේ ප්‍රකාශයන්, නිදහස් අධ්‍යාපනය නිසා තමන්ගේ වත්තක පොල් ගෙඩියක් කඩාගැනීට නොහැකිතත්වයක් උදාවෙන බැවින් ඔවුන් විරුද්ධ වී තිබෙනවා.
වෙනුර ජීවතුන් අතර සිටියා නම්...
මේ අවස්ථාවේදී මම තවත් කාරණාවක් දැනගත්තා. වෙනුර එදිරිසිංහ සහෝදරයා මෙම පාසලෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා. අපි කවුරුත් දන්නවා වෙනුර එදිරිරෙසිංහ ජීවිත පරිත්‍යා කළේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මතු පරපුරට යහපත් අනාගතයක් ලබා දීමට අනිකා ගේ යහපත වෙනුවෙන් අරගල කරලා. එවැනි යහපත් උදාර පරමාර්ථ සහිත චරිත අද ජීවතුන් අතුර සිටියා නම් අපේ රට පවතින්නේ මේ තත්ත්වයේ නොවෙයි; ඉතා යහපත් තත්ත්වයක. එවැනි විශිෂ්ට පරමාර්ථ සහිත තරුණ පිරිස්වලට ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවන සමාජයක් ගොඩනැගීමට අපට අවශ්‍ය වන්නේ නැහැ; අපට අවශ්‍ය එවැනි යහපත් ගුණාංග සහිත පුද්ගලයින් දස දහස් ගණනින් බිහිකිරීමටයි. අපට අවශ්‍ය වන්නේ ඔබගේ හැකියාවන් කුසලතාවයන් මත ලබාගත හැකි ඉහළම තත්ත්වයන් ලබා ගැනීමට යෝග්‍ය පරිසරයක්, අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමටයි.
තමන් වෙනුවෙන් පමණක් පෙනී සිටීම නොවෙයි සිදුවිය යුතු, සමාජයක් වෙනස් කිරීමට සමාජයට නායකත්වය ලබාදීමට ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට අනිකා තේරුම් ගැනීමට හැකියාව ඇති, සහකම්පනයෙන් යුක්ත පුද්ගලයින් බිහිකිරීම අපගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළින් බලාපොරොත්තු වන්නේ. මෙවැනි විශිෂ්ට උරුමයක් සහිත මේ පාසල ගොඩනැගීමට රජය මැදිහත් වෙනවා. රටට පමණක් නොව ලෝකයටම වැදගත් වන පාසලක් බවට පත් කිරීමට ඔබට හැකියාව තිබෙන බවට විශ්වාසයි. විවිධ බාධකවලට හා අභියෝගවලට මුහුණ දුන් හලාවත අධ්‍යාපන කළාපයේ සියලු දෙනාට ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛර්යය පවතිනවා.
මෙම අවස්ථාවට: රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගයාන් ජානක, හිරුණි විජේසිංහ, මොහොමඩ් ෆයිසාල්, හලාවත සේනානායක පාසලේ විදුහල්පතිනි එස්.පී.එන්.එස්. පතිරණ ඇතුළු ගුරුවරු සහ පාසල් සිසුන් පිරිසක් ද සහභාගී වූහ.
සටහන - ජයසිරි අලවත්ත


