අප රටේ ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් උත්තරීතර නීතියට අනුව බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් ලැබෙනවා බවත් එහි සඳහන් ආකාරයට බුදු දහම ආරක්ෂා කිරීම සුරක්ෂිත කිරීම හා රැක ගැනීම සිදු කිරීමත් සෙසු ආගම් හා සංස්කෘතීන්ට නිශ්චිත නියමිත ආරක්ෂාව හා රැකවරණය ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (18) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එම ප්‍රකාශයේ දී වැඩි දුරටත් කරුණු දැක් වූ විපක්ෂ නායකවරයා...
වෛරය ඇති කරන සිදුවීමක්
''සෑම විටම මේ රට සෛරීත්වය භෞමික අඛණ්ඩතාව ඒකීයභාවය රැක ගනිමින් සහෝදරත්වය සංහිදියාව ප්‍රවර්ධනය වන වැඩපිළිවෙළක් සැවොම ක්‍රියාත්මක කර ඉදිරියට ගෙන යා යුතු යි. එහෙත් පසුගිය දිනක ජනාධිපතිවරයා ප්‍රකාශ කරන කරුණක් ලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර ඉන් ඔබ්බට ඇති ආගමික සිද්ධස්ථානය වන්දනා මානය කිරීම වෛරය ඇති කරන සිදුවීමක්. ජනාධිපතිවරයා ගේ එම ප්‍රකාශයේ තරයේ හෙළා දකිනවා. රට පුරා විහිදී ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා කිරීමේ අයිතිය තිබෙනවා. ඒවා සිදු වන්නේ වෛරය මුල් කර ගෙන නෙවෙයි. සොළොස්මස්ථාන වන්දනාමාන කරන විට අප රටෙ විහිදී ඇති බොහෝ ප්‍රදේශවලට යන්න ජනතාව පෙලඹෙනවා. ආගම් භේදයෙන් තොරව බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා කරනවා; උතුරේ සිට කැබිලිත්ත වන්දනා කරන්න එනවා.
අන්තවාදීන්ට උඩගෙඩි දෙන ප්‍රකාශයක්
ක්‍රිස්තියානි, කතෝලික සිද්ධස්ථාන පවා වන්දනා කරන මොහොතක ආගමික කටයුතුවල නිරතවන විට කිසිදින වෛරය මුදුන් පත් වනවා යැයි සිතන්නෙ නැහැ. සෑම කොටසකම කුඩා අන්තවාදී කොටස් සිටිනවා. ඔවුන්ට තැනක් නැහැ. බුදුදහමට අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමන කරන ජනතාව සිටින අප රට තුළ අන්තවාදයට තැනක් නෑ. අන්තවාදය නිර්මාණය වන මෙවැනි ප්‍රකාශ ද සිදු නොවිය යුතු යි. ප්‍රදේශය පළාත කුමක් වුවත් ආගම් කටයුතු වෛරය මුදුන් පත් කර ගෙන සිදුවන බවට ප්‍රකාශ කිරීම වැරදි යි. මෙය අන්තවාදීන්ට උඩගෙඩි දෙන ප්‍රකාශයක්.
සුරක්ෂිත රටක් බිහි වීමට නම්...
බුද්ධ ශාසනයට ලබා දී ඇති සුවිශේෂී තැන සහ ප්‍රමුඛස්ථානයට පටහැනි ප්‍රකාශ සිදු නොකළ යුතු යි. සෙසු ආගම් හා සංස්කෘතිය ද රැකගත යුතු යි. මේ එකමුතුභාවය සංහිදියාව සුරක්ෂා වන ලෙස කටයුතු කළ යුතු යි. ඒ තුළින් සුරක්ෂිත රටක් බිහි වනවා. මේ හරහා ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා. රටේ බෙදීම්වලට මුල්වන කරුණු ඉස්මතු නොකළ යුතු යි. කුඩා කාලයේ සිට ම සියලු ආගම්වලට ගරු කරන ලෙස දෙමාපියන් උගන්වා ඇති නිසා ඒවාට ගරු කළ යුතු යි. මේවා මුල් කර ගෙන සමාජ වෛරයක් නිර්මාණය කර දේශපාලනය තුළ රැකිය නොහැකි යි.''

