30වන කේරල ජාත්‍යන්තර සිනමා උලෙළෙහි නෙට්පැක් ජූරි සභාපතිත්වය ලාංකිකයකුට

30වන කේරල ජාත්‍යන්තර සිනමා උලෙළෙහි නෙට්පැක් ජූරි සභාපතිත්වය ලාංකිකයකුට

ඉන්දියාවේ ඉතාම ප්‍රකට සිනමා උළෙලක් වන කේරල ජාත්‍යන්තර සිනමා උලෙළ 30වන වරට කේරලයේ ත්‍රිවේන්ද්‍රපුරම්හිදී දෙසැම්බර් මස 12 සිට 19 දක්වා දිනවල ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.

එහි දී ලොව පුරා ප්‍රවීණ සිනමාකරුවන්ගේ වෘත්තාන්ත චිත්‍රපට 205ක් සිනමා ශාලා සංකීර්ණ නවයක පිහිටි සිනමා ශාලා 15ක දින අටක් පුරා ප්‍රදර්ශනය විය. ත්‍රිවේන්ද්‍රපුරම් නගරය ම උත්සවයෙන් සරසා තිබූ මේ සතිය තුළ ලක්ෂ 4කට අධික ප්‍රෙක්ෂක පිරිසක් මෙම සිනමා කෘති නැරඹූහ.

ජූරියේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට

උලෙළෙහි ජූරිය: ඉරාන, ස්පාඤ්ඤ, පැරගුවේ, එන්ගලන්ත, ශ්‍රී ලංකා සහ ඉන්දීය ප්‍රවීණ සිනමාකරුවන් සහ විචාරකයින් ගෙන් සමන්විත වූ අතර ජූරි හතරක් විසින් චිත්‍රපට ඇගයීමට ලක්කරන ලදී. ඒ අතර නෙට්පැක් ජූරියේ සභාපතිත්වය හිමිවූයේ ශ්‍රී ලාංකික නිර්මාණකරුවකු වන උපාලි ගම්ලත් වෙත ය. මෑතදී තිරගත වූ “ගුරුගීතය“ චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයා වූ උපාලි ගම්ලත් ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ 20වසරකට අධික කාලයක් වාර්තා චිත්‍රපට, කෙටි චිත්‍රපට සහ වෘත්තාන්ත චිත්‍රපට නිර්මාණකරණයේ නියැළෙන අතර ඔහු: රචකයෙකු, අධ්‍යක්ෂ වරයෙකු, සංස්කාරක වරයෙකු සහ ශබ්ද නිර්මාණ ශිල්පියෙකු ලෙස හසල පලපුරුද්දක් ඇති නිර්මාණකරුවෙකි. එමෙන්ම ඔහු තම කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට සහ වෘත්තාන්ත චිත්‍රපට සදහා ජාතික මෙන්ම ජාත්‍යන්තර සම්මාන රාශියක් හිමිකරගනිමින් ජාත්‍යන්තර ක්‍රීර්තියට පත් සිනමාකරුවෙකි. ඔහු ජාතික තරුණ සේවා සභාවේ නිස්කො වීඩියෝ රූපවාහිණි තාක්ෂණ පාඨමාලාවේ රචනය සහ අධ්‍යක්ෂනය පිළිබද කථිකාචාර්යවරයෙකු ලෙස ද ජාතික තරුණ   චිත්‍රපට උලෙළෙහි සංවිධායකවරයා ලෙස ද වරස 15ක පමණ කාලයක සිට නියැළී සිටියි.

30වන කේරල සිනමා උලෙළ සදහා උපාලි ගම්ලත් නිර්දේශ කරන ලද්දේ ආසියා පැසිෆික් සිනමා ප්‍රවර්ධන ජාලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික හා ආසියානු සිනමා කේන්ද්‍රයේ සභාපති ඇෂ්ලි රත්නවිභූෂණ විසිනි. උපාලි ගම්ලත් ද ආසියානු සිනමා කේන්ද්‍රයේ සාමාජිකයකු මෙන්ම ලොව පුරා රටවල් 51කින් සමන්විත ආසියා පැසිෆික් සිනමා ප්‍රවර්ධන ජාලයේ ලාංකීය නියෝජිතයකු ලෙස ද කටයුතු කරමින් ඈෂ්ලි රත්නවිභූෂණ සහ රංජනී රත්නවිභූෂණ සමග එක්ව ලාංකීය සිනමා කරුවන් ගේ නිර්මාණ ජාත්‍යන්තර තලය වෙත ගෙනයෑමට අනුපමය සේවයක් කරමින් සිටින නිර්මාණකරුවෙකි.

සම්මානය පාත්‍ර වූ සිනා නිර්මාණ

30වන කේරල සිනමා උලෙළෙහි චිත්‍රපට 205ක් අතරින් තරගකාරී අංශය සදහා චිත්‍රපට 35ක් තෝරා ගන්නා අතර උලෙළෙහි හොඳ ම චිත්‍රපටය සඳහා සුවර්නා චාකෝරම් සම්මානය හිමිකරගන්නා ලද්දේ ෂාවෝ මියැකේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ''තබී තෝ හිබි'' ^Two Seasons, Two Strangers) ජපාන චිත්‍රපටයත්, හොඳ ම ආසියානු චිත්‍රපටය ලෙස නෙට් පැක් සම්මානය ගොසාඩ් කුරුල් විසින් අධ්‍යක්ෂණය කරන ලද “සිනමා ජසීරා“ ඉරාන හා තුර්කි චිත්‍රපටයත්, හොඳම මලයාලම් චිත්‍රපටය ලෙස උන්නික්‍රිෂන් අවාලා විසින් අධ්‍යක්ෂණය කරන ලද ''තප් තප් පේරු'' (Life of a Phallus ) චිත්‍රපටයත්, සංජු සුරේන්ද්‍රන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ''කිද් කී ගාව්'' (If on a winter's night)  චිත්‍රපටයත් සම සම්මාන දිනාගන්නා ලදී. හොඳ ම රංගනය සදහා සම්මානය බෙන්ගාල නිළි තිලෝත්තමා ෂෝම් ''බක්ෂෝ බොන්දි'' (Shadow Box) චිත්‍රපටය වෙනුවෙන් හිමිකර ගන්නා ලදී.

ගෝත්‍රික නායකයකු සම්මානයට පාත්‍රව...

මෙහිදී විශේෂයක් වන්නේ Life of a Phallus චිත්‍රපටය ආසියාවේ අවසාන ගුහාවාසීන් ජන කොට්ඨාසය වන චෝලනායිකන් ගෝත්‍රිකයකු නිර්මාණය කරන ලද ප්‍රථම චිත්‍රපටය වීම යි. එම ගෝත්‍රිකයන් ම රංගනයෙන් දායක වෙමින් චෝලනායිකන් භාෂාවෙන් නිර්මාණය කළ මෙම  චිත්‍රපටය තුළින් වඳ වී යන ඔවුන් ගේ ගෝත්‍රයේ ඛේදවාචකය සහ ඉනදිරා ගාන්ධි සමයේ සිට එම ගෝත්‍රය අතුගා දැමීමට කළ දේශපාලන බලපෑම පිළිබඳ ඉතා සිනමාත්මක සහ ප්‍රභල දේශපාලනික අදහසක් ඉදිරිපත් කරයි. ඊට අමතරව මෙම චිත්‍රපටය ජනප්‍රිය ම චිත්‍රපටය සඳහා සම්මානය ද හිමිකරගත් අතර විචාරක ජූරිය විසින් ජූරියේ විශේෂ සම්මානයක් ද පිරිනමන ලදී. මෙම ජයග්‍රහනය වදවීයන තම ගෝත්‍රයට මහත් ශක්තියක් වූ බව උන්නිකිෂන් අවාලා සම්මාන ලැබීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ ය.

එසේ ම කාන්තා අධ්‍යක්ෂවරියක් වන ගොසාඩ් කුරාල් ගේ 'සිනමා ජසීරා' චිත්‍රපටය තුළින් තලෙයිබාන්වරුන් කාන්තාවට ඇතිකරන අමානුෂික පීඩනය හා කාන්තාව ඊට එරෙහිව ක්‍රියාකිරීම පිළිබඳ ප්‍රභල හඬක් නගන ඉතා විශිෂ්ට චිත්‍රපටයකි. ඇය තම දිවිපරදුවට තබමින් ඇෆ්ගනිස්ථානයේ රූපගත කළ මෙම චිත්‍රපටය ද සැබවින්ම ඇගයිය යුතු විරක්‍රියාවකි.

ජයග්‍රාහි නිර්මාණ ලංකාවේ දී...

උපාලි ගම්ලත් පවසන පරිදි නුදුරු දිනයක ලාංකේය ප්‍රේක්ෂකයින්ට මෙම චිත්‍රපට නැරඹීමට අවස්ථාව ලබාදෙමින් ආසියානු සිනමා කේන්ද්‍රයේ සංවිධානයෙන් කොළඹ දී කේරල සිනමා උලෙළෙහි ජයග්‍රාහී චිත්‍රපට ප්‍රදර්ශන උලෙළක් පැවැත්වීමට අදහස්කර සිටියි. එසේම ගම්ලත් ගේ තුන්වන වෘත්තාන්ත චිත්‍රපටය වන සිංහල දමිල ද්විභාෂා නිර්මාණයක් වූ ''විඩු'' චිත්‍රපටය වැඩ අවසන් වෙමින් පවතින අතර නුදුරේ දී එය ලාංකේය ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට ඔහු බලාපොරොත්තුවෙන් සිටියි. 

 

upali2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න