ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගත්තෙ වික්ෂයේ බලපෑම මත නොව එහි දැවැන්ත අඩුපාඩු රාශියක් පවතින බැවින් වන අතර ඊට හේතුව කුමක්දැයි දැනගැනිමට නම් ජනාධිපතිවරයා ඔහු ගේ face book ගිණුමෙහි තැබූ සටහන බලන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (22) පැවැති මාධ්‍ය හමුව අමතමිනි.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමුවේ ඇයි...?
‘‘රටට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව සියලුම දෙනා පිළිගන්නවා. රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය නැති බව පවසනවානම් එය වැරදි ප්‍රකාශයක්. ඒ අනුව රට තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යෙන් ඇති විය යුතුයි. කෙසේ නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව වැඩ කටයුතු ආරම්භ කළේ යහපාලන රජය කාලයේ දී. ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන් ගේ කාලයේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගමන් කළා. ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල විෂයමාලා ප්‍රතිසංස්කරණය පිළිබඳව පියවර 2026 ජනවාරි මාසයේ ගතයුතුව තිබුණා. කෙසේ නමුත් ජනවාරි මාසය වනවිට නිසියාකාරව විෂය මාලා සකස් කර, දරුවන්ට අවශ්‍ය අත්පොත් නිසිලෙස සකස් කර ගැනීමට නොහැකි වුණ නිසා , එහිලා ගුරුවරු නිසිලෙස පුහුණු කර ගැනීමට නොහැකි වීම නිසා, විෂය නිර්දේශ ඉගැන්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය නිසිලෙස ලබානොදීමට නොහැකි වුණ නිසා, අත්පොත් සකස් කළේ මාස තුනකට පමණක් නිසා, ඒ වගේම ගුරු පුහුණුව ලබා දුන්නේ මාස තුනකට පමණක් නිසා, බොහෝ පාසල්වලට තාක්ෂණික උපකරණ නොමැති නිසා, ජනාධිපති අනුර දිසානායක මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ 6 වන ශ්‍රේණියේ කොටස අත්හරින්න කටයුතු කරනු ලැබුවා. ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දමන්න ජාතික ජනබලවේග රජය කටයුතු කරනු ලැබුවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විපක්ෂය විරුද්ධ නොවුණා නම්...
කෙසේ නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැරදුණේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමට සිදුවුණේ , විෂයමාලාවල අඩුපාඩුකම් වුණේ, පාසල්වලට තාක්ෂණික උපකරණ ලබාදිමට නොහැකි වුණේ, ගුරුවරුන්ට නිසි ලෙස ගුරු පුහුණුව ලබාදීමට නොහැකි වුණේ විපක්ෂය නිසා බවට සංවිධානාත්මක ප්‍රචාරක ව්‍යාපාරයක් රට පුරා ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කර තිබෙනවා. ආණ්ඩුවේ ක්‍රියාකාරින්ව ස්වාධින ලෙස වෙස් ගන්වා රට පුරා උද්ඝෝෂණ පවත්වන්න රජය කටයුතු කරනු ලබනවා. කෙසේ නමුත් ආණ්ඩුවේ අඩුපාඩු මකා ගන්න ආණ්ඩුව විසින් විපක්ෂයට දෝෂාරෝපණය එල්ල කරන බව සියලු ම දෙනා දන්නවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තිබුණ වැරදිවලට විපක්ෂය විරුද්ධ නොවුණානම් තව මාස තුනකින් ආණ්ඩුව දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඉතුරු මාස 9 සඳහා අත්පොත් සකස් කරලත් නැහැ. ගුරු පුහුණුව ලබාදිලත් නැහැ, තාක්ෂණික උපකරණත් නැහැ. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්න ආණ්ඩුවට සිදුවුණේ විපක්ෂය නිසා බවට විපක්ෂයට චෝදනා කිරීම වැරදි කටයුත්තක්. රටේ ජනතාව රාජ්‍ය පාලනය භාර දුන්නේ විපක්ෂයට නෙවෙයි. රටේ ජනතාව රාජ්‍ය පාලනය භාර දුන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයාට සහ ජාතික ජනබලවේග ආණ්ඩුවට. ඒ නිසා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම සඳහා සිදුකරන ප්‍රචාරක ව්‍යාපෘති නතර කර හැකිතරම් ඉක්මනින් නිවැරදි ලෙස සලකා බලන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමට කටයුතු කළ යුතුයි.
අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යා යුතුයි
විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ආණ්ඩුව කිසිදු වචනයක් කතා කරන්නේ නැහැ. පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ආණ්ඩුව කිසිදු වචනයක් කතා කරන්නේ නැහැ. පාසල්වලට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාදීම සඳහා ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙළක් නැහැ. ගුරු පුහුණුව නව්‍යකරණය කිරීම පිළිබඳව ආණ්ඩුව කිසිදු වචනයක් කතා කරන්නේ නැහැ. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරිමට නොහැකි වී තිබෙන්නේ විපක්ෂය නිසා නෙවෙයි. ආණ්ඩුව නිසයි. වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අවශ්‍ය බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු සෑම අවස්ථාවක ම ප්‍රකාශ කර තිබෙනවා. නව රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන බව රටට දැනුම් දුන් දවසේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අවශ්‍ය බව සමගි ජනබලවේගයේ සියලුම මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වගේම මේ වැඩපිළිවෙළ තුළ තිබෙන අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යා යුතුයි. නමුත් වැඩපිළිවෙළ සම්පුර්ණයෙන්ම වෙනස් කළ යුතු නිසයි ජනාධිපතිවරයා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පස්සට ගන්න කටයුතු කළේ.
විශ්වාසභංගය අගමැතිනියට එරෙහිව නොවේ
අගමැතිවරියට අධ්‍යාපන ඇමැති ධුරය දැරිමට ශක්තියක් නැති බව පෙන්නුම් කරලා තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන ඇමැතිවරියට විරුද්ධව ගෙන එන විශ්වාසභංගය විපක්ෂයට අවශ්‍ය මොහොතේ දි ඉදිරිපත් කරන්න කටයුතු කරනු ලබනවා. විශ්වාසභංග ගෙන ආ යුතු කාල සීමාව තිරණ කරනු ලබන්නේ විපක්ෂය විසින්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන ඇමැතිවරියට ශක්තිය නැති නිසයි ඇයට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන එන්නේ. විපක්ෂය විශ්වාසභංගය ගෙන එන්නේ අගමැතිට විරුද්ධව නෙවෙයි අධ්‍යාපන ඇමැතිවරියට විරුද්ධවයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමිමට කටයුතු කළේ කුමන හේතුවක් සඳහා දැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණය කරන පිරිසට ජනාධිපතිවරයා හමුවෙලා දැන ගන්න පුළුවන්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණය කරන බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිස්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩුපාඩු රැසක් තිබෙන බව අධ්‍යාපනවේදින් පෙන්වා දෙන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්න කටයුතු කළේ ජනාධිපතිවරයා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාත් දන්නවා. පෙළ පොත් නැති බව ඔහු දන්නවා , තාක්ෂණක පහසුකම් නැති බව ජනාධිපති දන්නවා , ගුරු පුහුණුව නැති බව ජනාධිපතිවරයා දන්නවා. ඒ නිසයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්න ආණ්ඩුව කටයුතු කළේ. මේක හරියට ම දැනගන්න ඔ්නෙ නම් ඔ්න කෙනෙකුට පුළුවන් ජනාධිපතිතුමා ගෙ face book ගිණුමට ගිහින් ඔහු දාපු සටහන බලන්න.
ආණ්ඩුව හදන්නෙ නිතිපතිවරයාත් ආණ්ඩුවේ අණසකට යටත් කරගන්න
විපක්ෂය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩුපාඩු පෙන්වා දුන්නේ නැතිනම් අවසානයේ විපක්ෂයට දෝෂාරෝපණ එල්ල වෙනවා. නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තිබෙන අඩුපාඩු පෙන්වා දුන්න නිසයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්න සිද්ධ වුණේ කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා. විපක්ෂය නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩාකප්පල් වුණ බවත් ආණ්ඩුව ප්‍රකාශ කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරිනම් ආණ්ඩුවට ක්‍රියාත්මක කරන්න පුළුවන්නේ. ආණ්ඩු බලය ගත්තාට පසුව රාජ්‍ය බලය සමග කටයුතු කළ යුතුයි. රාජ්‍ය ඡන්දයෙන් ඡන්දයට මාරු වෙන්නේ නැහැ. රාජ්‍යයේ තනතුරු දරන නිලධාරින් සියලු දෙනාම සුදුසුකම් අනුව තනතුරුවලට පත් වුණ පිරිසක්. ඔවුන් සමග වැඩ කටයුතු කරන්න, ඔවුන් ගේ පෞද්ගලික ස්වාධිනත්වය ආරක්ෂා කරන්න ආණ්ඩුවට වගකිමක් තිබෙනවා. ආණ්ඩුව සහ රාජ්‍ය අතර වෙනසක් තිබෙනවා. නමුත් ආණ්ඩුව අවශ්‍ය වන්නේ නිතිපතිවරයාවත් ආණ්ඩුවේ අණසකට යටත් කරගන්න. පොලිස්පතිවරයා වැනි නීතිපතිවරයෙක් ලාල් කාන්ත ඇමැතිවරයාට අවශ්‍ය වෙලා තිබෙනවා. ආණ්ඩුව කෙළින් කරන්න බැරි දේවල් වක්‍රව කරන්න උත්සහ දරනවා.
159ක් සහ තුනෙන් දෙකක් තිබුණට ඉවත් කළ නොහැකි තනතුරු තිබෙනවා
ආණ්ඩුවට වසරක් ගතවෙලත් රාජ්‍ය බලය ලබා ගන්න නොහැකි නම්, ස්වාධීන ආයතන සමග කටයුතු කිරීමට ආණ්ඩුව නොහැකිනම්, රාජ්‍ය නිලධාරින් සමග සුහදව කටයුතු කිරිමට නොහැකිනම් ආණ්ඩුව ගෙදර යා යුතුයි. රාජ්‍ය පාලනය කිරීමේ ක්‍රමය, රාජ්‍ය නිලධාරින් සමග සුහදව කටයුතු කරන්න දන්නේ නැතිනම් ගෙදර යන්න. ඒ වගේම උසස් නිලතල දරන නිලධාරින් ඉවත් කිරිමේ ක්‍රමවේදයක් සහ පනතක් තිබෙනවා. පොලිස්පති, නීතිපති, විගණකාධිපති ඉවත් කිරිමට පහසු නැහැ. 159ක් සහ තුනෙන් දෙකක් තිබුණට පොලිස්පති, නීතිපති, විගණකාධිපති ඉවත් කරන්න බැහැ. ආණ්ඩුව විවේඡනය කරන නීතිඥයින්ට, භික්ෂුන් වහන්සේලාට, කතෝලික පූජකවරුන්ට ප්‍රතිපහර එල්ල කරන බව ලාල් කාන්ත ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. දේශපාලනිකව එලෙස සිදුකිරීමට හැකියාව තිබුණත් සාදාචාරාත්මකව එලෙස සිදුකිරීමට හැකියාවක් නැහැ. නීතිඥයින්, භික්ෂුන් වහන්සේලා, කතෝලික පූජකවරුන් සිදුකර විවේචන සාධාරණ නම් ඒවා පිළිගන්න ආණ්ඩු කටයුතු කළ යුතුයි. ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සිදු නොකළ යුතුයි. ආණ්ඩුව ගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩුපාඩු බෞද්ධ උගත් භික්ෂූන් වහන්සේලා විසින් පෙන්වා දෙනවා නම්, ඒ සඳහා තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම දේශපාලනය නෙවෙයි.
ආණ්ඩුව නිතිඥවරුන් බය කරන්න හදනවා
රට තුළ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් තිබෙනවා. කෙසේ නමුත් නීතිය ක්‍රියාත්මක වීමේ දී අඩුපාඩු රැසක් තිබෙන බව රටේ සියලු ම දෙනා පිළිගන්නා කාරණයක්. යුක්තිය පසිඳලීම පිළිබඳව ප්‍රමාදයක් තිබෙනවා; දේශපාලනික බලපෑම් තිබෙනවා; පොලිසියත් අතිශයින් දුර්වල වී තිබෙනවා. මෙවැනි වාතාවරණයක් තුළ රාජ්‍ය තත්න්‍රයේ පත්කිරීම් සඳහා රජය සිදුකරන අයුතු බලපෑම් පිළිබඳව ප්‍රකාශ නිකුත් කරන විට, නිතිඥ සංගමයේ ආණ්ඩුවේ ක්‍රියා කලාප කරුණු මත පදනම්ව හෙළා දකින විට නිතිඥවරුන්ටත් පහර දෙන බව ලාල් කාන්ත ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. ආණ්ඩුව නිතිඥවරුන් බය කරන්න දැඩි උත්සාහයක් ගන්නවා. එය ඉතිහාසය පුරාවට සිදුවෙලත් තිබෙනවා. කෙසේ නමුත් රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිතිඥයින් පෙනී සිට තිබෙනවා. පාලනය පිළිබඳව ප්‍රශ්න ඇතිවුණ විට මුලින් ම එළියට පැමිණෙන්නේ රටේ නීතිඥයින්. ඒ වගේම වර්තමාන රජයට බලය ලබාගැනීම සඳහා අවශ්‍යවන දේශපාලන පදනම සකස් වුයේ ශ්‍රී ලංකා නිතිඥ සංගමය ගත් නිර්භිත තින්දු නිසයි. ආණ්ඩුව මේ සියල්ල අද අමතක කර තිබෙනවා. ආණ්ඩුව රටේ ආගමික නායකයන්ට විරුද්ධව, නීතිඥයින්ට විරුද්ධව තර්ජන කිරීම ආරම්භ කර තිබෙනවා. එයින් ආණ්ඩුවේ තිබෙන දුර්වලභාවය පේනවා.''

