ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් රැසකට පසු දිවයිනට පැමිණෙයි.

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් රැසකට පසු දිවයිනට පැමිණෙයි.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දූත පිරිස සිව් දිනක සාර්ථක නිල සංචාරයකින් අනතුරුව අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.

පසුගිය ජනවාරි 19 වනදා සිට 22 වනදා දක්වා පැවැති මෙම සමුළුව අතරතුර, අග්‍රාමාත්‍යවරිය ලෝකයේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීන් සහ ව්‍යාපාරික නායකයින් රැසක් හමු වී ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික මාවත ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූවාය. මෙම සංචාරය සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් එක්ව සිටියහ.

මෙම සංචාරයේ විශේෂත්වයක් ලෙස අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා  සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වමින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තාය. එසේම, සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම්, යුරෝපීය කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේන්  සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) පරිපාලක ඇලෙක්සැන්ඩර් ඩි ක්‍රෝ සමඟ පැවැති හමුවීම් හරහා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමටත් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ගෝලීය විශ්වාසය තහවුරු කිරීමටත් හැකි විය.

ගෝලීය වේදිකාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරිය 'World Women Davos Agenda 2026' හමුවේ විශේෂ දේශනයක් පැවැත්වූ අතර, නැගී එන වෙළෙඳපොළවල රැකියා අර්බුදය සහ ගෝලීය කුසලතා සංවර්ධනය පිළිබඳ වූ ඉහළ පෙළේ කමිටු සාකච්ඡා (Stakeholder Dialogues) සඳහා ද සිය දායකත්වය ලබා දුන්නාය. මීට අමතරව, ගෝලීය සංචාරක සංසදයේ (GTF) ඉහළ පෙළේ සංවාදයකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ අනාගත දැක්ම ප්‍රවර්ධනය කිරීමට ද අග්‍රාමාත්‍යවරිය පියවර ගත්තාය.

ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් AP Moller-Maersk වැනි ජාත්‍යන්තර සමාගම්වල ප්‍රධානීන් සහ ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා පැවැත්වූ අග්‍රාමාත්‍යවරිය, ස්විට්සර්ලන්තයේ වෘත්තීය පුහුණු ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූවාය.

ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හමු වූ අග්‍රාමාත්‍යවරිය මෙරට සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කළාය. මෙම සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර මගින් ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන වැඩපිළිවෙළ උදෙසා ජාත්‍යන්තර සහයෝගීතාවයේ නව පිටුවක් පෙරළීමට අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ දූත පිරිස සමත් වී තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
2026 ජනවාරි 23

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න