ලොව විශාලතම ජාත්‍යන්තර නාට්‍යය උළෙල දෙක ලෙස එඩිංබරෝ ජාත්‍යන්තර නාට්‍ය උළෙල හා නවදිල්ලි ජාත්‍යන්තර නාට්‍ය උළෙල හෙවත් භාරත් රන් මහෝත්සව් උලෙළහි ප්‍රදර්ශනය කිරීම සඳහා ලංකාවේ නාට්‍ය දෙකක් තෝරාගෙන ඇත.
මෙම නාට්‍ය උලෙළ ලොව විශාලතම ජාත්‍යන්තර නාට්‍යය උළෙල දෙක ලෙස සැලකේ.
භාෂා 228ක නාට්‍ය
නවදිල්ලි නාට්‍ය උළෙලේ 25 වන දිගහැරුම ජනවාරි 27 සිට පෙබරවාරි 20 දක්වා ඉන්දියාවේ ස්ථාන 40ක දී පැවැත්වෙන අතර එය මෙවර භාෂා විවිධත්වය අතින් ලොව විශාලතම නාට්‍ය උළෙල බවට පත්වනු ඇත. මෙම උළෙලේ දී ඉන්දියානු සහ විදේශීය භාෂා - උපභාෂා 228කින් නිෂ්පාදිත නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
නාට්‍ය දහස් ගණනකින් කරන ලද තරගකාරී තෝරා ගැනීමකින් අනතුරුව ලංකාවේ නාට්‍ය දෙකක් එම උළෙලේ ප්‍රදර්ශනය කිරීම සඳහා තෝරාගෙන ඇත. ඒ, බුද්ධික දමයන්තගේ "මට සිහිනයක් ඇත" සහ චාමික හත්ලාවත්තගේ "තොරණ" නාට්‍ය ද්විත්වය යි. මෙය ලංකාවේ නාට්‍ය කලාවට ජාත්‍යන්තර පරිමාණයෙන් හිමිවූ ගෞරවයකි.
මුහුණ ඉදිරිපිට ඇති ප්‍රශ්නය
මෙම නාට්‍ය කණ්ඩායම් දෙක අවම වශයෙන් පෙබරවාරි 1 වන විට ඉන්දියාවට යා යුතු වුවත් තවමත් ගුවන් ටිකට්පත් සඳහා මුදල් ලැබී නැත. සංස්කෘතික අමාත්‍යංශය මෙවැනි අවස්ථාවක කලාකරුවන් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු අතර රජය වගකීමක් දැරිය යුතු ය. මීට පෙර මෙවැනි ජාත්‍යන්තර නියෝජනයක් ලංකාවේ කලා කෘතියකට ලැබුණු අවස්ථාවල දී එහි පිරිවැය සඳහා පොදු මහජන අරමුදල්වලින් ප්‍රතිපාදන ලබාදෙන සම්ප්‍රදායක් තිබිණි. මෙවර අයවැයෙන් සංස්කෘතික අමාත්‍යංශය සඳහා වෙන්කර ඇත්තේ සොච්චමකි. ජාතික ජන බලවේගයේ ප්‍රධාන සටන්පාඨය වන "සංස්කෘතික මිනිසෙකු ගොඩනැගීම" මේ ආකාරයට කළ හැකි දැයි අපි අයවැය අවස්ථාවේත් ප්‍රශ්න කළෙමු. දැන් ප්‍රශ්නය අපේ මුහුණු ඉදිරියට පැමිණ ඇත.
ආණ්ඩුවට විශේෂ අවස්ථාවක්
ලෝකයේ හොඳම නාට්‍ය අතරට ලංකාවේ නාට්‍ය දෙකක් තේරුණු විටෙක එම නාට්‍ය වේදිකාගත කිරීමේ පිරිවැයවත් පොදුවේ දැරිය නොහැකිවීම ලජ්ජාවකි. ආණ්ඩුව වෙනත් අනවශ්‍ය වියදමක් කපා හැර හෝ මේ සඳහා මුදල් ලබාදිය යුතු ය. කලාව සහ සංස්කෘතිය ප්‍රවර්ධනය වෙනුවෙන් මහජන බදු මුදලින් ප්‍රමාණවත් මුදලක් වෙන්කළ යුතු ය. මර්දනය සහ ඇන්දවීම වෙනුවෙන් වෙන් කරන මුදල් අඩුකර, ජනතාව ගේ ජීවිතවල භෞතික හා අධ්‍යාත්මික යහපැවැත්ම උදෙසා සමාජ ආරක්ෂණ සේවාවලටත්, සංස්කෘතික ප්‍රවර්ධනයටත් මුදල් වෙන් කිරීමේ ප්‍රමුඛතාව දිය යුතු ය. එසේ නොකරන්නේ නම් සංස්කෘතික මිනිසුන් වැනි බරසාර දේවල් නොකියා පාඩුවේ නව ලිබරල් ධනවාදය තල්ලු කරගෙන යෑම යහපති.

