පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් පැහැරගත් පුද්ගලයින් 14ක් අත්අඩංගුවට

පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් පැහැරගත් පුද්ගලයින් 14ක් අත්අඩංගුවට

පෞරාණික වටිනාකමකින් යුතු බුද්ධ ප්‍රතිමාවක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකු මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 28 වැනි දින රාත්‍රී කාලයේදී මාවතගම පොලිස් වසමේ කහපත්වල කැබිලිතිගොඩ පුරාණ රජමහා විහාරයේ ස්වාමින්වහන්සේලා වැඩවසන ආවාසයෙහි තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් පැහැරගෙන ගිය බවට මාවතගම පොලීසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එදින රාත්‍රි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් පුද්ගලයින් සිව් දෙනෙකු විහාරස්ථානයට පැමිණ එහි ආවාසය තුළ තැන්පත් කර තිබූ අඩි 1 1/2ක් පමණ වූ රන් පැහැති බුද්ධ ප්‍රතිමාව විමර්ශන කටයුත්තක් සඳහා අවශ්‍ය බව පවසමින් ස්වාමින්වහන්සේලාගෙන් එය ලබා ගෙන පැහැරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී සිද්ධියට අදාළ සැකකරුවන් 14 දෙනෙකු ඊයේ (31) දිනයේදී මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සමග පැහැරගන්නා ලද බුද්ධ ප්‍රතිමාවද අපරාධය සඳහා යොදා ගත් වෑන් රථය දෙකක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22 - 56 වයස්වල පසුවන මිනීගමුව, තෙල්දෙණිය, මොනරාගල, මතුගම, මාතලේ සහ රිදීගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් ඊයේ දින පිලැස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මාවතගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න