රජයේ මැති ඇමතිවරු විසින් ගුරු සංවර්ධන නිලධාරීන් අතරමං කරනු ලැබ ඇති බවත්, මේ රජය මගහැරි තවත් බොරු පොරොන්දුවක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසයක නිරතව සිටින ගුරු සංවර්ධන නිලධාරීන් හමුවීමට අද (31) එම ස්ථානයට ගිය අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ආණ්ඩුව පැය 24ම බොරු කියනවා
''අද රටේ තිබෙන්නෙ පැය 24 ම බොරු කියන රජයක්. මේ බොරුකාර ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරු මැතිවරණ සමයේ මේ උපාධිධාරීන්ට පොරොන්දුවක් දුන්නා. මේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් වසර ගණනාවක් පුරා කොරෝනා සමයේ, රට බංකොලොත් සමයේ නිදහස් අධ්‍යාපනයේ ගුරු හිඟය මග හරවා ගන්න කටයුතු කළා. එදා 22000ක් සිටියත් අද එය 16000ට අඩුවී තිබෙනවා. රජයේ මැති ඇමතිවරු මොවුන් අතරමං කරලා. මේක රජය මගහැරි තවත් බොරු පොරොන්දුවක්. මොවුන්ට මාරාන්තික උපවාස තියන්න අවශ්‍ය නැහැ. මොවුන්ට රැකියා දෙන්න හැකියාව පවතිනවා. මොවුන් අතර නියෝජ්‍ය විදුහල්පතිවරු පවා සිටින නිසා මොවුන්ව බඳවා ගත හැකියි.
වත්මන් රජය රටේ අධ්‍යාපනය විනාශ කරා
මේ ගුරු සංවර්ධන නිලධාරීන් රට වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් සිදු කර ඇති නිසා මොවුන්ව රවටන්නේ නැතිව දැන්වත් පොරොන්දු වූ ආකාරයට මොවුන්ට රැකියා ලබා දී පොරොන්දු ඉටු කළ යුතු යි. මීට අමතරව රැකියා විරහිත උපාධිධාරීන් 35000ක් සිටියත් මොවුන්ට රැකියා ලබා දෙන ලෙස පැවසුවත් මොවුන් ද රවටලා. එම නිසා මොවුන්ට කෙළෙහිගුණ දක්වා මොවුන්ට රැකියා ලබා දෙන්න. වත්මන් රජය රටේ අධ්‍යාපනය විනාශ කරා සේ මොවුන්ද විනාශ කරන්න යනවා. සමගි ජන බලවේගය බලයට පැමිණියහොත් මේ ගැටලුව කඩිනමින් විසඳනවා. රජයේ වගකීම වන්නේ පොරොන්දු ක්‍රියාත්මක කිරීම යි. බලයට පැමිණි පසු පොරොන්දු කඩ කිරීම අනුමත කළ නොහැකි යි. පච දේශපාලනය දැන්වත් නැවැත්විය යුතු යි.''


