සජිත් නොසන්සුන් කළ දුරකතන ඇමතුම...
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිර දඬුවම් නියම වීමෙන් පසුව ගිහි ඇඳුමක් අන්දවා උන්වහන්සේ වෙනත් නඩුවක් සඳහා අධිකරණයට රැගෙන එමින් සිටින බව කාටත් පෙරම සජිත්ගේ කණ වැකුණේ ඔහුට හිතවත් නීතිඥවරයෙකු ලබාදුන් ඇමතුමක් අනුවය. එම දුරකතන සංවාදයේදී අදාළ නීතිඥවරයා සජිත්ට දැනුම් දුන්නේ මෙම ක්‍රියාව ඉතා බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන සමාජයම නොසන්සුන් කරන සිදුවීමක් වනු ඇති බවය. ඒ අනුව තත්ත්වය තේරුම් ගත් සජිත්, කෙටුම්පත්වී ඇති සියලු නීති අණ පනත්වලට අමතරව භික්ෂූන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පිළිබඳ කරුණු විමසන්නට පියවර ගත්තේ, අදාළ කරුණු ගැන මනා අවබෝධයක් ඇති භික්ෂූන් වහන්සේලා සමගද සම්බන්ධ වෙමිනි. ඉන් අනතුරුව මේ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙය වහා නිවැරදි කරන ලෙස සජිත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.
ඔහු පෙන්වා දුන්නේ, නීතිමය රාමුව මත පිහිටමින් අධිකරණය කටයුතු සිදු කළත්, සමාජ සම්ප්‍රදායන්, සමාජ සම්මුතීන් සහ සංස්කෘතික අනන්‍යතාවන් පිළිබඳ සංවේදී භාවයකින් යුතුව ආණ්ඩුව කටයුතු කළ යුතු බවය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ එකඟතාවයකින් තොරව ගිහි ඇඳුම් අන්දවා ඇති බවත්, භික්ෂූත්වය හෝ අදාල වෙනත් ආගමක නිලභාවය පිළිබඳ තීරණ ගත යුත්තේ, එම ආගමික ආයතනය විසින් මිසක ආණ්ඩුව විසින් නොවන බව ද සජිත් සිය නිවේදනය මගින් දැඩිව අවධාරණය කළේය.

මේ අතර එවන් පසුබිමක ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් කෝට්ටේ සංඝ සභාව ද අවධාරණය කළේ, භික්ෂුවකට සිවුර පෙරවීම හෝ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ එම භික්ෂුව අයත් සංඝ සභාවට බවය.
මෙවැනි ගැටළුවක් රට තුළ නිර්මාණය කිරීම ගැන සජිත් ප්‍රේමදාස පසුගියදා (06) වනදා ද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට දැඩිව චෝදනා කළේ, ඔහු අවධාරණය කළේ, සිරකරුවන්ගේ වගකීම දරණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ රජය, භික්ෂූන්වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශාසනික නීතියට අභියෝග නොකිරීමට වගබලා ගත යුතු බවය.
බුද්ධ චීවරයට අත තියන්න දෙන්න බෑ...

“මම කතා කරන්නේ පුද්ගලයෙක් ගැන නෙමෙයි. නඩු තීන්දු ගැනත් නෙමෙයි. මං කතා කරන්නේ බුද්ධ චීවරය ගැන. බුද්ධ ශාසනයට මුල්තැන දෙන අපේ රටේ චීවරයට නිග්‍රහ කරන්න දෙන්න බෑ. බුද්ධශාසන අමාත්‍යංශයක් මුලින්ම ඇති කළේ මගේ පියාණන් වන ජනාධිපති රණසිංහ ප්‍රේමදාස. ඒ වගේම ජේ.ආර්. ජනාධිපතිතුමා සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බවත්, සෙසු ආගම් සුරක්ෂිත කරමින් අනුග්‍රහය දැක්විය යුතු බවටත් ව්‍යවස්ථාවෙන් තහවුරු කළා. ඒ නිසා සිරගත කෙරුණු භික්ෂුන්වහන්සේ නමකගේ සිවුරු ගලවා වෙනත් අඳුම් අන්දවා අධිකරණයට රැගෙන යාමෙන් ආණ්ඩුව ලබාදෙන්නේ වැරදි පූර්වාදර්ශයක්.” එහිදී බන්ධනාගාර නීති හා අණ පනත් ඉදිරිපත් කරමින් සැකකරුවෙකු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද සජිත් කරුණු පැහැදිලි කරද්දී ආණ්ඩුවේ ඇතැමුන් ගල්ගැසී සිටින ආකාරයක්ද දැකගත හැකිවිය.
"තවත් ලේ වැගිරෙන ඛේදවාචකයක මූලාරම්භයක්"

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ගිහිඇඳුමකින් අධිකරණයට රැගෙන ඒමෙන් ආණ්ඩුව චේතනාන්විතවම අන්තවාදීන්ට තම මතවාදයන් සමාජ ගතකිරීමට පිටිය සකසා ගැනීමට සෘජුව සහ වක්‍රව පහසුකම් සලසා දී ඇති බවට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ චෝදනා කළා.
ඒ මෙම සිදුවීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ ස්ථාවරය පැහැදිලි කරමින්.
“මේ වගේ සිදුවීම් සියලු ජාතීන් හා ආගම් තුළ ඉන්න සුළුතරයක් වූ අන්තවාදී කණ්ඩායම් අතර උත්කර්ෂයක් ඇති කරන්න හේතුවක් වෙනවා. ඒ උත්කර්ෂය තමන්ගේ ඡන්ද බවට පත්කර ගැනීම ආණ්ඩුවේ සැලසුම නම්, එය තවත් ලේ වැගිරෙන ඛේදවාචකයක මූලාරම්භයක් කියන දේ තමයි අපිට කියන්න තියෙන්නේ. දශක තුනක් පුරා පැවැති යුද්ධයේ බිහිසුණු බව අමතක කරලා මෙහෙම දේවල් කරන එක ආණ්ඩුවකට නුසුදුසු වැඩක්.”’
"පිංතූරයි ගලපමින් මේ සිදුවීම සාධාරණීකරණය කරන්න ආණ්ඩුවට බෑ"

“දැන් වොෂිං මැෂින් බලකාය කියන්න හදනවා බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ සෝමාරාම හිමිටත් සැලකුවේ මෙහෙමයි කියලා. ඒක වැරදියි. ඒ බණ්ඩාරනායක ඝාතනයෙන් පස්සේ සෝමාරාම හිමියන් සිය කැමැත්තෙන් උපැවැදි වුණා. ඊට පස්සේ බුද්ධාගම අතහැරලා වෙනත් ආගමකට ගියා. ඒ වෙලාවේ නීතිය ක්‍රියාත්මක වුණේ ගිහියෙකුට අදාළ වන ලෙස. ඒ නිසා ඒ පිංතූරයි, මේ පිංතූරයි ගලපමින් මේ සිදුවීම සාධාරණීකරණය කරන්න ආණ්ඩුවට බෑ. එහෙම කරන්න හදනවානම් ඒක සම්පූර්ණයෙන් නොමග යැවීමක් හා ජනවිඥානය විකෘති කිරීමක්. ඒ වගේම තවත් භික්ෂූන් තිස් ගණනක් සම්බන්ධයෙන් මේ විදිහටම කටයුතු කරලා කියලත් කියනවා අපි දැක්කා, ඒත් අපිනම් අඩුම ගණනේ සමාජ මාධ්‍යය තුළවත් එහෙම ඡායාරූපයක්, ප්‍රවෘත්තියක් කිසිම දෙයක් දැක්කේ නෑ.” යනුවෙන් බුද්ධික පතිරණ අවධාරණය කළේය.
ඡන්දවලට වඩා වටින මානසික සුවය...
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ සජිත් අතර සාකච්ඡා කිහිපයක් පසුගිය දින කිහියේදී පාර්ලිමේන්තුවේදීත්, විපක්ෂ නායක කාර්යාලයේදීත් සිදුවිය. එම සාකච්ඡාවලදී බඩුමිල, වී මිල, උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්ණය ඇතුළු ජනතාවට මුහුණදිමට සිදුව ඇති තත්ත්වයන් ගැන අවදානය යොමු විය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කීව්වේ. “දැන් සර්... ජනතාවට හොදින්ම දැනිල තියෙන්නේ. ඒත් කතා කරගන්න බැරිව අසරණ වෙලා ඉන්නේ. ඕන දෙයක් වෙන්න කියලා කතිරෙ ගහපු මිනිස්සුම තමයි මේ තැලෙන්නේ.”

“මිනිස්සු කවද හරි ඇත්ත තේරුම් ගනියි. එතකොට පරක්කුයි. මිනිස්සු දුකට පත්වෙනව නම් අපිට සතුටු වෙන්න බෑ. ඒ නිසා ජනතාවට සහන දෙන්න ඕන. දෙන්නෙ නැත්නම් අරන් දෙන්න ඕන. අපිට ඡන්දවලට වඩා මිනිස්සුන්ගේ මානසික සුවය වැදගත්. ඒකනේ අපේ පක්ෂයේ වෙනස. මම IMF ටීම් එක මුණගැහුන වෙලාවෙත් ඒ අයගෙන් ඉල්ලුවේ ආණ්ඩුව එක්ක කතා කරලා මේ කොන්දේසි ටිකක් ලිහිල් කරලා දෙන්න කියලා. අනිත් එක ආයෙත් ගිවිසුමකට යනවා නම් අපේ රටේ මිනිස්සුන්ට ජීවත්වෙන්න පුලුවන් විදිහේ අනුප්‍රාප්තික වැඩසටහනක් ගැනත් මම කතා කළා.” එහෙම කියපු සජිත් පසුදිනම මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේදී කතා කළේ පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් මාළිමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයද අතැතිවය.
හරිනිත් නිහඩ කළ සජිත්ගේ පිළිතුර

“මේ ආණ්ඩුව පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් කියලා ජනතාව මුලා කළා. දැන් ජනතාව අනාථ වෙලා ඉන්නේ. වී කිලෝවට 150ක්. වරායෙන් ගොඩබාන ගානට තෙල්. කොමිස් ගැහිල්ලට තිත. උපාධිධාරීන් 35,000 කට රැකියා. විදුලිබිල 33%න් පහළට. මාස 6න්, 6ට රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීම්. අධ්‍යාපන, සෞඛ්‍ය, අත්‍යාවශය අහාරවල වැට් එක සීරෝ. මේ ඔබතුමන්ලා දුන්න පොරොන්දු. දැන් මේව ඉටු කරල තියෙනවාද ? ඔබලා ඇතිකර ගත්ත සමාජ ගිවිසුම අමු අමුවේ උල්ලංඝණය කරලා. අද ජනතාව අසරණ වෙලා ඉන්නේ. දැන් උපාධිධාරීන් 80,000ක් මහ පාරේ.”
එහෙම දරුණු ප්‍රහාරයක් එල්ල කළ සජිත්ට උත්තර දුන් අගමැති හරිණි පැවසුවේ, “ මේ විදියට බෙරු කියලා තවදුරටත් මේ රටේ ජනතාව නොමග යවන යුගය දැන්වත් අවසන් කරමු.” කියාය.
පෙරළා සජිත් ඊට දුන් පිළිතුරු වුණේ…,
“බොරුව ගැන කතා කරන ඔබට, කණ්නාඩියක් ඉදිරියට ගියානම් බොරු කරන්නේ කවුද? බොරු කියන්නේ කවුද? කියලා පැහැදිලිව බලාගන්න පුළුවන් වෙයි.”
සජිත්ගේ ඒ පිළිතුරින් අගමැති හරිණි ඇතුළු ආණ්ඩු පක්ෂයම නිහඬ විය.
ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවක්

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර වෙත භාරදුන්නේ පසුගිය 09 වැනිදාය.
චෝදනා 50ක් මුල් කරගනිමින් කෙටුම්පත් කර ඇති මෙම විශ්වාසභංග යෝජනාවෙන් අවධාරණය කර ඇත්තේ, කතානායකවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාකලාපයන් ගැනය. කතානායකවරයා වෙත ස්ථිර නිළ නිවසක් හිමිව තිබියදී කොළඹ 04, ලොරිස් පටුමගේ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අයත් මහල් නිවාස සංකීර්ණයකින් තවත් නිවසක් ලබාගැනීමත්, ඔහුගේ පුද්ගලික ලේකම්වරයාටද කතානායක බලතල උපයෝගී කරගනිමින් ලොරිස් පටුමගේ පිහිටි එම මහල් නිවාස සංකීර්ණයෙන්ම තවත් සුඛෝපභොගී නිවසක් හිමිකර දීමත්, තමන්ට නිල බලයෙන් හිමි බත්තරමුල්ල රජමල්වත්තේ පිහිටි කතානායක නිළ නිවස කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පවත්වා ගැනීමත් හරහා සිදුකර ඇති සාපරාධී විශ්වාසය කඩ කිරීම ද එහි ඇතුළත් චෝදනා අතර වේ.
එමෙන්ම රජමල්වත්තේ පිහිටි කතානායක නිල නිවසේ භාණ්ඩ රැසක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා මත අල්ලස් කොමිසම විසින් ද විමර්ශනයක් සිදුකරන අතරතුර, එම නිල නිවසට අයත් භාණ්ඩ වට්ටෝරු ලේඛණ අතුරුදන්වීම, නිල වාහන දෙකට අමතරව පාර්ලිමේන්තු නිලධාරීන්ට බලපෑම් කරමින් තවත් වාහන කිහිපයක් සිය භාවිතය සඳහා යොදා ගැනීම, ඉන්ධන අවභාවිතය, නියමිත ගෙවීම් සිදු නොකරමින් කතානායකවරයා සිය පුද්ගලික ලේකම්වරයාට ද කතානායක භෝජනාගාරයෙන් ආහාර ලබාගැනීමට සැලස්වීම, කාරක සභා හා උපදේශන සභා වැනි පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීම් සඳහා සිය පුද්ගලික ලේකම්වරයාද සහභාගී කරවමින් ස්ථාවර නියෝග හා සම්ප්‍රදායන් කඩ කිරීම ඇතුලු චෝදනා 50ක් යටතේ මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය කටයුතු කර තිබුණි.
අජිත්ට ආ, ආවේගය...

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීරට භාරදීමෙන් පසු විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක අජිත් පී. පෙරේරා ඇතුළු කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව හමුවිය.
එහිදී ඔහු දැඩි කෝපයෙන් යුතුව, අත්තනෝමතික ලෙස බලතල යොදා ගනිමින් රාජ්‍ය දේපළ අවභාවිත කළ මෙවැනි කිසිදු කතානායකවරයෙකු මේ දක්වා තමන් දැක නොමැති බව කියා සිටියේය. “මේ අය ඉන්නේ හරි අහිංසක විදියට. ඒත් වැඩ කොහොමද ? මේවා ජනතාව දැනගන්න අවශ්‍යයි. තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවක් ඉදිරියේ මේ වගේ විශ්වාසභංග යෝජනාවක් ගේන්න තරම් අපි ශක්තිමත්. අපි හයිය තියෙන කණ්ඩායමක්. අපි තමයි රට වෙනුවෙන් ඇත්ත කතා කරන්නේ. අපිට මේ ආණ්ඩුවේ බොරුව ජනතාවට හොඳින් පැහැදිලි කරන්න මේක අවස්ථාවක් කරගන්න ඕන. සමහර විට මෙයා විශ්වාසභංග විවාදයට ඉස්සෙල්ලා තනතුරෙන් ඉවත් වෙන්නත් බැරි නෑ.”
අජිත් පී. මේ කතාව කීවේ තරමක් ආවේගශීලීවය.
බාල ගල්අඟුරු වංචාවේ තරම එළියට…

බාල ගල්අඟුරු ආනයනය කිරීම හරහා රටට අහිමි කර ඇති මුදල රුපියල් මිලියන 15,681 ඉක්මවන බව ඒ පිළිබඳ සොයා බැලීමට පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් අනාවරණ කර තිබේ.
යටිතල පහසුකම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් විසින් මෙම කමිටුව පත්කළේ, බාල ගල්අඟුරු ආනයනයෙන් සිදුව ඇති පාඩුව ගැන ආණ්ඩුව මුනිවත රකින මොහොතකය.
විදුලිබල අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස විදුලි බල අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිළධාරීවරයාත්, මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂවරයාත්, ජාතික පද්ධති කළමනාකරණ සමාගමේ විධායක නිලධාරීවරයාත්, ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාත්, ලක්විජය බලාගාරයේ නියෝජ්‍ය කළමණාකාරවරයා ඇතුළු ආයතන කිහිපයක ඉහළ පෙලේ විශේෂඥයින් පිරිසක් මීට පත්කර තිබුණේ ආණ්ඩුව සඟවන ගල්අඟුරු වංචාවේ සුළ මුල සවිස්තරව සොයාගත යුතුව තිබූ නිසාමය.
ඒ අනුව එම කමිටුව විසින් බාල ගල්අඟුරු ගෙන ඒම හරහා රටට සිදුවූ අලාභය පිළිබඳ වාර්තාවක් සකස් කර තිබුණි. එම වාර්තාව ලැබීමෙන් පසුව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා හදිසි මාධ්‍ය හමුවක් කැඳවා ඒ පිළිබඳ දැනුවත් කරමින් රටට හෙළි කළේ, “මේ කමිටුව හරහා මේ දක්වා සිදුකළ විමර්ශනයන්ට අනුව බාල ගල්අඟුරු ගෙන ඒම හරහා රටට සිදුවෙච්ච සෘජු පාඩුව රුපියල් මිලියන 15,681 ක්. ඒත් ඊට අමතරව ගල්අඟුරු බාලවීම නිසා අඛණ්ඩව විදුලිය ලබාදෙන්න හදිසි මිලදී ගැනීම් යටතේ තවත් ගල්අඟුරු නැව් 5ක් ලංකාවට ගෙනාවා. ඒකට ගියපු වියදම රු මිලියන 2284ක්. ඒ අනුව මේ බල ගල්අඟුරු වංචාව නිසා මේතෙක් ගණන් බලා ඇති ආකාරයට රටට වෙච්ච පාඩුව රුපියල් මිලියන 17,965ක්.”
ජයකොඩිට මොකද කරන්නේ…

බාල ගල්අඟුරු ගෙන්වීමෙන් විශාල පාඩුවක් සිදුව ඇති බව දැන් රටටම පැහැදිලි බවත්, ආණ්ඩුව තම මන්ත්‍රීවරුන් 159 දෙනා යොදා ගනිමින් මේ වංචාව සිදුකළ කුමාර ජයකොඩි හිටපු බලශක්ති ඇමතිවරයා ආරක්ෂා කළ බවත් පැවැසූ මරික්කාර් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, ජනතා විරෝධය තියුණුවීම නිසා ඔහු ඇමතිධුරයෙන් ඉවත් වුවත්, වංචාව වසන් කිරීමට ආණ්ඩුවට නොහැකි බවයි. ඒ අනුව කුමාර ජයකොඩි සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ජාතික ජන බලවේගය ගන්නා වූ තීන්දුව කුමක්දැයි වහාම රටට හෙළිකරන ලෙසත් ඔහු ආණ්ඩුවට අභියෝග කළේය.
දියණියකගෙන් සජිත්ට ලැබුණු ස්තුතිය.

සාහිත්‍ය මාසයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගීවන ලෙස පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මෙවරත් සිදුකළ ආරාධනයට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය 03 වනදා ඊට එක්විය.
පොතට පතට කවදත් ප්‍රිය කළ සජිත් මෙවරත් ප්‍රදර්ශනය පුරා කුටියෙන්, කුටියට යමින් පොත්පත් තෝරන අයුරු එහි පැමිණ සිටි අයටද සුපුරුදු දසුනක් විය.
ඒ අතරතුර තමන් අසලට පැමිණි දරුවන්, තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන් සමඟ කතාබස් කිරීමත්, ඔවුන් සමඟ ඡායාරූප ගැනීමත් සජිත්ට විඩාබර සතියක සතුට ගෙනදුන් අවස්ථාවක් වී තිබුණි.
කුඩා දරුවන් සමඟ සහ පොත් ප්‍රදර්ශනයට පැමිණි බොහෝ පිරිසක් සමඟ සතුටු සාමිච්චියේ නිරතවීමෙන් අනතුරුව, එම භූමියෙන් පිටතට යන්නට සූදානම් වූ සජිත් අසලට පැමිණි කුඩා දියණියක් ඉල්ලා සිටියේ ඔහු සමඟ ඡායාරූපයක් ගන්නටය.
ඡයාරූපය ගැනීමෙන් පස්සේ ඒ දියණිය සජිත්ට අපූරු කතාවක් කීවේය. “ මම හරිම ආසාවෙන් හිටියේ කම්පියුටර් ඉගෙන ගන්න ඒත් අපේ ඉස්කෝලේ කම්පියුටර් තිබුණේ නෑ. ඒත් මම ශිෂ්‍යත්වේ පාස්වෙලා ගියපු ඉස්කොලේ කම්පියුටර් ලැබ්එකක් තියෙනවා. ඒක දීලා තියෙන්නේ මාමාලා, ඒක නිසා මටත් දැන් කම්පියුටර් ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට තැංකිව් කියන්නයි මට ඕන වුනේ.”
ඒ දියණියගේ කථාවක් සමඟ සංවේදී වූ සජිත් “ අනේ ඇත්තද, ඔයා ඒවා පාචිච්චි කරලා හොඳට ඉගෙන ගන්න ඕන. ඔයා ලොකු වෙලා කවුරු වෙන්න ද ආසා.”
“මම ආසයි අලුත් මොනවා හරි හදන්න”
“අන්න හොඳයි, ඔයා ලොකු වෙලා අපේ රට ගැන ලෝකෙම කතා කරන අලුත් දෙයක් හදන්න. දුව හොඳට ඉගෙන ගන්න ඕන.” එහෙම කියමින් සජිත් දියණියගේ හිස අතගාමින් ඇයගේ පියාටත් ආයුබෝවන් කියා සමුදෙමින් පොත් ප්‍රදර්ශනයෙන් පිටව ආවේය.
මම | බංගලා හන්දියේ ලියුම්කරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
