Image

සතියේ නඩු : ඥානසාර හිමි, ශිරන්ති සහ දේශබන්දු ගැන අධිකරණ තීන්දු මෙන්න

සතියේ නඩු : ඥානසාර හිමි, ශිරන්ති සහ දේශබන්දු ගැන අධිකරණ තීන්දු මෙන්න

ආන්දෝලනාත්මක නඩු ගණනාවක් විභාගයට ගනිමින් ගිය සතිය ආරම්භ විය.පහළ අධිකරණ වල සිට ඉහළ අධිකරණ දක්වාම නඩු රාශියක් විභාග වූ අතර අපි දන්න කියන බලවත්තු පිරිසකට රක්ෂිත බන්ධනාගාර ගත වෙන්නටද සිදුවිය.

නැකත් සතිය ආරම්භ වුනේ අධිකරණය මඟහරිමින් සැඟවිලා සිටිය ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින්ය. ඥානසාර හිමියන් ඇල්ලු නැකත අවසන් වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ හිටපු ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂවත් කල්දේරම් බතේ රස බලන්නට වැලිකඩ යවමින්ය. 

ඥානසාර හිමියන් දඩුවමේ ඉතිරි කාලය ගෙවන්න බන්ධනාගාරයට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිර දඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය  නියම කළේය.

අත් අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් (05) දා අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු අතර එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට පණවනු  දඩුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වෙත නියම කළේය.

 

ශිරන්ති රාජපක්ෂගේ ඇපේක්ෂිත ඇප ඉල්ලීම

මේ අතර ඔක්තෝබර් 05 වැනි දිනත් රටින් බැහැරව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව සඳහන් කරමින් අපේක්ෂිත ඇප ඉල්ලා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ගොනු කළාය.

නීතිඥ මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, එහි පෙත්සම්කාරිය ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මිය නම් කර ඇති බවත්, වගඋත්තරකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කර තිබුණි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා තමන් විදේශගතව සිටින බව ශිරන්ති රාජපක්ෂ අධිකරණයට දැනුම්දී තිබුණි.

විදේශගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී තමන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බැවින්, එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුවුවහොත් අධිකරණය විසින් නියම කරනු ලබන ඕනෑම කොන්දේසියකට යටත්ව තමන් ඇප මත මුදාහරින ලෙස ඇය සිය පෙත්සමෙන් ඉල්ලා තිබුනි.

අපේක්ෂිත ඇප ඉල්ලීමට අදාළ පෙත්සම එදින (05) පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය හමුවේ කැඳවා ඇති අතර, එය නැවත  (06) දිනයේ කැඳවීමට නියම කළාය.

කෙසේ වෙතත්, අදාළ පෙත්සම ගොනු කිරීමෙන් අනතුරුව එදිනම(05) රාත්‍රියේ (11.30) සිංගප්පූරුවට ගිය ශිරන්ති රාජපක්ෂ මැලේසියාවේ සිට ලංකාවට පැමිණියාය.

ඊට පසු දින එනම් 6 වැනිදා සිරිලිය සවිය" ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ස්ථානාධිපතිවරයාට ඔක්තෝබර් මස 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙසට මලිගාකන්ද මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා විසින් නොතීසි නිකුත් කළාය.

 

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුලු තිදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුලු තිදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කළහ.

සිය සැමියාට අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට විනිසුරු පෙළඹවීමට කොළඹ මහාධිකරණ කාර්යාල කාර්ය සහයකවරයෙකුට අල්ලස් මුදලක් ලබා දුන්නැයි කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ  ඇතුලු  තිදෙනා ලබන 20 දක්වා  යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම (6) වැනිදා නියෝග කලේය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි සහ කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකු වන චරිත් නමැත්තා  සහ මිනුවන්ගොඩ  මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා එලෙස නැවත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුහ.

නඩුව කැඳවු අවස්ථාවේ දී සරනගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මෙලෙස අධිකරණයට දන්වා සිටියේය.

"ස්වාමීනි, මාගේ සේවාදායකයා⁣ගේ දියණිය උසස් පෙළ කරලා. A 4 ක් අරන් ඉනනේ. පිටරට යන්න පවා අවස්ථාව ලැබිලා තිබෙනවා. දියණියට වීසා ලබාගන්න තිබෙනවා. තවද ඇයගේ වයසට ඇයගේ පියාත් ඉන්නේ සිර දඬුවම් විඳිමින්. අම්මාත් රක්ෂිත බන්ධනාගාර ගත වුණොත් ඒක දරාගන්න බැහැ. එම නිසා දරුවා මානසික ආතතියට පත් වෙලා. ස්වාමීනි  දරුවා වරදක් කරලා නැහැ.ඒ නිසා ස්වාමීනි සුදුසු ඇපයක් මත මුදා හරින්න"

 

ක්‍රිෂ් ගනුදෙනුව: නාමල් හා ජානකී තවදුරත් රිමාන්ඩ්

එදිනම (06) අලුත් කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට  අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ඉදිරිපත් කළ අතර ලබන 16  දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  නියෝග කළේය.

 

ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට

මේ අතර සිරදඬුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවා වරෙන්තුවක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයට 06 දා ඉදිරිපත් කරන ලදී.

 එසේ ගිහි ඇඳුම් ඥානසාර හිමියන්ගේ නීතිඥවරු මහාධිකරණ විනිසුරුවරයාට කරුණු දැක්වු අතර විනිසුරුවරයා සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් බන්ධනාගාරයට නියෝග කිරීමේ බලයක් මහාධිකරණයට නොමැති බවයි.

තවද අධිකරණය මඟින් දඬුවම් නියමව බන්ධනාගාරගත කර සිටින රැඳවුම්කරුවකු වන චුදිතට ගිහි ඇඳුම් ඇන්දවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීමේ හැකියාව තිබෙන බව මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල ප්‍රකාශ කළේය.

2014 වසරේ කොම්පඤ්ඤවීදියේ පැවති මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාව යටතේ පවරන ලද නඩුවට පෙනී නොසිටීම නිසා කොළඹ මහාධිකරණය විසින් ඥානසාර හිමියන්ට වරෙන්තු නියම කෙරිණි.

එහිදී චුදිතගේ නීතිඥයන් කරුණු දක්වමින් සිය සේවාදායකයා අධිකරණය මඟ නොහැරිය බවත්, දැඩි මානසික පීඩනය හේතුවෙන් ආරණ්‍යයකට ගොස් භාවනායෝගීව සිටි බවත් කියා සිටියේය.

විත්තිකරු සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාරයට ගෙන යෑමෙන් පසු එහිදී ගිහි ඇඳුම් අන්දවා ඇති බව අධිකරණයට දැනුම් දුන්නේය.

උපසම්පදා වූ භික්ෂුවක් සිවුරු හැර උපවැදි කිරීමේ හැකියාවක් ඇත්තේ අදාළ නිකායේ මහනායක හිමියන්ට පමණක් බව පෙන්වා දුන් විත්තියේ නීතිඥයන්, බන්ධනාගාර රෙගුලාසි අනුව ද පෙර ඇඳ සිටි ඇඳුමට සමාන ඇඳුමක් ඇඳීමේ අයිතියක් රැඳවුම්කරුවකුට තිබෙන බව කියා සිටියේය.

තව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 9 වැනි වගන්තිය අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බව පෙන්වා දීම සිදුවිය.

විත්තිකරු මෙයට පෙර සිරගතව සිටි අවස්ථාවලදී ගිහි ඇඳුම් ඇන්දවීමක් සිදුව නැති බැවින්, ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස විත්තිය ඉල්ලා සිටියේය.

ඒ සම්බන්ධයෙන් තමා පෞද්ගලිකව කනගාටු වන බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල, විනිශ්චයාසනයේ සිටින විට නියෝග දිය හැක්කේ ආගමික හේතු මත නොව නෛතික ප්‍රතිපාදන අනුව බව කියා සිටියේය.

අනතුරුව විත්තිකරු වරද පිළිගැනීමට ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ඊළඟ නඩු දිනයේ දැනුම් දෙන ලෙස නියම කළේය. නඩුව ලබන 23දා යළි කැඳවේ.

කොම්පඤ්ඤවීදියේ පදිංචි නූර්ඩීන් මොහොමඩ් තාජුඩීන් නමැති අය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 291 (ආ) වගන්තිය යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

 

බැසිල් රාජපක්ෂට අයත් බව කියන මාතර 'බ්‍රවුන්ස් හිල්' ඉඩම සම්බන්ධයෙන් අධිකරණයෙන් විශේෂ නියෝගයක්

මේ අතර මාතර උසාවියත් අධිකරණය මඟහැර පුටුවෙන් වැටි කොන්ද කැඩි සිටින  බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ද නියෝගයක් නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝෂන් පත්‍රයක් මාර්ගයෙන් කරුණු දක්වමින්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට චෝදනා එල්ල වී ඇති මාතර, බ්‍රවුන්ස් හිල් (Browns Hill) ප්‍රදේශයේ පිහිටි අක්කර භාගයකට ආසන්න ඉඩම සහ එහි ඇති දේපොළ සම්බන්ධයෙන් විශේෂ අධිකරණ නියෝගයක් ලබා ගත්තේය.

එහිදි  මාතර අධිකරණය  නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේ එකී දේපල අත්හිටුවීමේ නියෝගය ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ අනුව එකී දේපොළ සම්බන්ධයෙන් මීට පෙර පනවා තිබූ අත්හිටුවීම,හා තහනම් කිරීමේ නියෝග නැවත සක්‍රීය කරමින් ක්‍රියාත්මක කරන ලෙස අධිකරණය නියෝග නිකුත් කළේය.

සද්භාවීය හිමිකරුවන්ට දින 14 ක කාලයක් ලබා දුන් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ එකී ඉඩම සහ දේපොළ සම්බන්ධයෙන් නීත්‍යානුකූල හෝ සද්භාවීය හිමිකම් ඇති වෙනත් යම් පාර්ශ්වයක් වේ නම්, අද දින සිට දින 14 ක් ඇතුළත ඒ පිළිබඳ කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසයි.

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මෙම  නියෝගය  නිකුත් කළේය.

 

 සුරේෂ් සලේට ප්‍රතිකාර කරන වෛද්‍යවරු අධිකරණයේ පෙනී සිටී,

සුරේෂ් සැලේ නැවතත් CID භාරයට 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ කොළඹ ජාතික රෝහලේ මේවන විට නේවාසිකව ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේට ප්‍රතිකාර සිදුකරන වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට (06) දා  අධිකරණයේ පෙනීසිටින ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා පසුගිය දා නොතීසි නිකුත් කළා.

කෙසේ වෙතත් ඔහු තවමත් ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදුකළ කරුණු සළකාබැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළා. ඒ අනුව එලෙස නොතිසි නිකුත් කළ වෛද්‍යවරු වන්නේ,

1 වෛද්‍ය ගාමිණි ගලප්පත්ති - හෘද රෝග විශේෂඥ - කොළඹ ජාතික රෝහල

2 වෛද්‍ය එන්.එම්.පෙරේරා  - විශේෂඥ වෛද්‍ය - කොළඹ ජාතික රෝහල

3 වෛද්‍ය යමුනා සේනාධීර - විශේෂඥ වෛද්‍ය - කොළඹ ජාතික රෝහල

4 වෛද්‍ය නලින්ද හේරත් - විශේෂඥ පෝෂණවේදී වෛද්‍ය - කොළඹ ජාතික රෝහල

5 වෛද්‍ය අනුප්‍රභා වික්‍රමසිංහ - විශේෂඥ මනෝ වෛද්‍ය - කොළඹ ජාතික රෝහල

6 වෛද්‍ය සුසිත් අමරසිංහ - විශේෂඥ හෘද විද්‍යුත් භෞතවේදි - කොළඹ ජාතික රෝහල

7 වෛද්‍ය වරුනි සමරනායක - විශේෂඥ වෛද්‍ය - කොළඹ ජාතික රෝහල

8 වෛද්‍ය ජානක අකරවිට - චර්මරෝග විශේෂඥ වෛද්‍ය කොළඹ ජාතික රෝහල

9 වෛද්‍ය මහේන් කොතලාවල - ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍ය - කොළඹ ජාතික රෝහල

10 වෛද්‍ය අසංග ගුණතිලක - විශේෂඥ දන්ත වෛද්‍ය - කොළඹ ජාතික රෝහල

ඒ අනුව අදාල වෛද්‍යවරු (06) දා අධිකරණයේ පෙනී සිටියා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ කරුණු දක්වනු ලැබීය.

"ස්වාමිනි,

වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන්නේ නැහැ

ජාතික රෝහලේ අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර ඇතුළු වෛද්‍යවරු රජයේ නිලධාරීන් නිසා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලා සිටියා

අපි ඔවුන්ව ඊයේ කැදෙව්වා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකත් එම සාකච්ඡාවේ සිටියා

මෙම වෛද්‍ය කමිටුව 2026/09/28 අවසන් වෛද්‍ය වාර්තාවක් නිකුත් කරලා තියෙනවා ජාතික රෝහලේ අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර මහතා හරහා

එම වාර්තාවට මෙම වෛද්‍යවරු 10 දෙනා අත්සන් කරලා තියෙනවා.

එම වාර්තාවේ කාරණා 6 සංක්ෂිප්තව දක්වා තිබෙනවා.

1 නිර්දේශිත බෙහෙත් නිසි වෙලාවට ලබා දීම

2 සුදුසු පරිසරයක තැබීම

3 වෛද්‍ය අධීක්ෂණයට යොමු කිරීම

4 වෛද්‍ය සායනවලට නිසි පරිදි යොමු කිරීම

5 ආසාත්මිකතාවන් ඇතිවුවහොත් නිසි ප්‍රතිකාරවලට යොමු කිරීම

6 හදවතට සවි කර තිබෙන යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයේ ගැටලුවක් වෙතොත් ඒ සම්බන්ධව හෘද ඒකකයට යොමු කිරීම යන්න අදාල කාරණායි.

ස්වාමිනි මොහු තවමත් ඉන්නේ 42 වාට්ටුවේ

මෙම වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා සුරේශ සලේව ජාතික රෝහලෙන් මුදා හරින්න

ඔහුව අද පස්වරුවේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන විමර්ශන ඉදිරියට සිදු කිරීමට කටයුතු කරනවා.

මෙය පරිබාහිර කාරණයක් නොව ස්වයංව ජාන මගින් ඇති වෙච්ච දෙයක්

ඒක උග්‍ර වුණේ ඔහු විසින්ම සිදු කරපු ස්වයං උපවාසය නිසා

මේ ස්වයං උපවාස කරන පුද්ගලයම අභියාචනාධිකරණයේ නඩුවක් පවරනවා

ලේඛන 46ක් ගොනු කරනවා

පිටු 9700ක්

දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙනවා පිටු 247 ක

මේ දේවල් කරන්න ඔහුට මතකයි

ඒවට උපදෙස් දෙන්න මතකයි

ඔහුට හැබැයි මුරපදය මතක නැහැ

නීතිඥවරයාගේ ස්ථාවරය තමයි දින 3න් 3ට මුරපද මාරු කරනවලු

එතකොට වෙන කරන්න වැඩක් නැහැ

ඒකම කර කර ඉන්න තියෙන්නේ

මොහු ලංකාවේ බුද්ධි අංශයේ ප්‍රධානියා

දිගටම හමුදාවලට සම්බන්ධ ආයතනවල තමයි සේවය කලේ

ඔහුට යුධ හමුදා රෝහලේ ප්‍රවේශය තියෙනවා

ඒකේ ඔක්කොම නොමිලේ

නමුත් ඔහු කන් සුද්ද කරලා නැහැ

දත් මැදලා නැහැ

 

සුරේශ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු -

"මේ මේ මේ එහෙම කැත කතා කියන්න එපා"

 

දිලීප පිරීස් - පොඩ්ඩක් අහගෙන ඉන්නවා

 

සුරේශ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු -

ඉන්නනවා? ඔහොමද කතා කරන්නේ

 

දිලීප පීරිස් -පොඩ්ඩක් වැදගත් විදියට හැසිරෙන්නකෝ

ස්වාමිනි මෙතන වින්දිතයන් ගැන අමතක වෙලා තියෙනවා

ඔවුන් ගැන කවුද අහන්නේ?

ඔවුන්ගේ ප්‍රතිකාර ගැන කවුද අහන්නේ?

හැබැයි මොහු ගැන හැමෝම කන්සර්න් කරනවා

ඔහුගේ රංගනයන්ට අපි ආපහු රැවටෙන්නේ නැහැ

ඔහු ලෙඩ වුණා නෙමෙයි ලෙඩ කෙරෙව්වා

ඔස්ට්‍රේලියාවල වෛද්‍යවරයෙක් ඉන්නවා තුන්වැනි සැකකරුගේ ඥාතියෙක්

අපි මෙම රංගන ගැන හෙළි කරන්න හිටියේ

නමුත් දැන් රෝහලෙන් රැගෙන යන්න පුලුවන් කියලා වෛද්‍යවරු ඊයේ කිව්වා

ඒ නිසා මුකුත් කරන්නේ නැහැ

නැත්නම් මම මේ වෛද්‍යවරු වෙනුවෙන් පෙනී ඉන්නෙත් නැහැ

නීතිඥවරු අරන් එන්න කියලා තිබ්බේ

ඊයේ යවන්න පුලුවන් කියලා පිළගත්ත නිසා තමයි මම අවේ

දවස් 119ක් මොහු ව්‍යර්ත කරලා තියෙනවා

ඔහු කරන් නැහැ

ඔහුට ලවා කරවනවා

 

එහිදි මහෙස්ත්‍රාත්වරයි විමසා සිටියේ මුරපද ලබා ගැනීම සදහා විශේෂඥ ක්‍රම භාවිත කල නොහැකිද යන්නයි

දිලීප- ස්වාමිනි,

මොහුගේ ජංගම දුරකතනය සහ ලැප්ටොප් දෙකම ඇපල් වර්ගයේ ඒවා

ඒවගේ ආරක්ෂණ ක්‍රියාවලිය හරිම සංකීර්ණයි

මුරපද විවෘත කිරිමට ඉතා අපහසුයි

නමුත් ඔහුට මතක නැහැ කියනව නම් අපි ඒ විකල්පයට යනවා

ස්වාමිනි,

මම මේ 10 දෙනා කුමන්ත්‍රණකරුවන් කිව්වේ නැහැ

මම කිව්වේ මෙතන වෛද්‍ය කුමන්ත්‍රණයක් තියෙනවා කියලා

මම අදත් ඒක කියනවා

මොහු රෝහලට වෙලා නිකන් කකා බිබී ඉන්නවා

උණ කට්ටක් කටට දානවා

රෝහලේ ඉද්දි එක එක ඒවා කරනවනේ

හදවතට දාපු යන්ත්‍රයත් දැම්මේ රජයේ අනුග්‍රහයෙන්

 

අනතුරුව නැවතත් සුරේශ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කරුණු දැක්වීය.

ස්වාමිනි,

ජාතික රෝහලේ හැමෝටම ප්‍රතිකාර කරන්නේ නොමිලේ

නීතිපති ගියත් එතුමටත් එහෙමයි

ඇයි නීතිපති කැමති නැද්ද ඉන්න අයට නොමිලේ ප්‍රතිකාර කරනවට?

කෙසේ නමුත් දින 119 ජාතික රෝහලසේ සි⁣ටි හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ එදිනම සවස නැවත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බලා ගියේය.

මේ අතර,

 

W15 හෝටලයට වෙඩි තැබීම : හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට අධිචෝදනා

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මාතර මහාධිකරණයේ අධිචෝදනා බාර දෙනු ලැබීය.

ඒ ඉකුත් (07) මාතර මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ ඉදිරියේ ය.

එහිදි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කලේ චුදිතයන්  නව දෙනා ඇප මත මුදා හරින ලෙසයි.

ඒ අනුව එක් චුදිතයෙකුට ලක්ෂ 100 බැගින් වූ ශරිර ඇප හතරක් සහ මුදල් ඇප ලෙස ලක්ෂ දෙකහමාරක මුදලක් ගෙවන⁣ ලෙස නියෝග කළේය. තවද ශරිර ඇප සම්බන්ධයෙන් කොන්දේසියක් ලෙස දෙදෙනෙක් පවුලේ ළඟම ඥාති විය යුතු බවද සඳහන් කළේය.

එමෙන්ම මුදල් ඇප ගෙවීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස චුදිතයන්ගේ නීතිඥවරු කළ ඉල්ලීම සකල බැලු අධිකරණය ඒ සඳහා වෙනත් දිනයක් ලබා දුන්නේ ය.

2023 දෙසැම්බර් 30 වැනිදා රාත්‍රි කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම දක්වා ගොස් ම වෙඩි තැබීමක් සිදු කර තිබුණි.

2025 පෙබරවාරි 28 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අටදෙනකු අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කිරීමට මාතර එවකට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම මුල් අටදෙනා වන්නේ දේශබන්දු තෙන්නකෝන්, එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සල්ම් ද සිල්වා, පොලිස් පරීක්ෂක මහේෂ් දුනුසිංහ, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, උප පොලිස් පරීක්ෂක රොෂාන් මධුරංග, පොලිස් සැරයන් ප්‍රසන්න කුමාර, පොලිස් කොස්තාපල් සුපුන් ප්‍රියශාන් සහ රියදුරු පොලිස් කොස්තාපල් ගිහාන් පියතිස්ස යන අයයි.

ඔවුන් සමඟ මෙහෙයුමට ගිය පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර වැලිගම පොලිසියෙන් එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණි.

පසුව එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ ( CCD)  වැඩබලන අධ්‍යක්ෂවරයා වූ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාද අධිකරණයට භාරවීමෙන් මෙම විමර්ශනයේ නවවැනි සැකකරු බවට නම් කෙරුණි.

 

ලැක්ටෝස්වත්තේ අවි රැස්කළ දෙදෙනාට වසර 10 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාර මාලාව සිදුවීමට පෙර, 2018 ඔක්තෝබර් 1දා සිට 2019 ජනවාරි 16දා දක්වා පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝස්වත්ත ප්‍රදේශයේදී ත්‍රස්ත පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම, සහරාන් හශීම් හා හා මොහොමඩ් හස්තූන් සමග ගිනි අවියක් සජීවී උණ්ඩ දොළහක් (12) ඇතුළු  පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය තොගයක් නීතයානුකූල බලයක් නොමැතිව රැස්කිරීම ඇතුළු අධි චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරුවන් බවට නිගමනය කළ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහා අධිකරණය  බරපතල වැඩ සහිත වසර පනහ බැගින් සිර දඬුවම් නියම කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන ලාල් රණසිංහ බණ්ඩාර (සභාපති), රශ්මික සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් දඬුවම් නියෝගය කළේය.

ඒ අනුව පලමු විත්තිකරු චෝදනා පහකට වරදකරු වූ අතර බරපතළ වැඩ සහිත වසර 50ක සිරදඬුවම් නියම කළේය.

දෙවැනි විත්තිකරු චෝදනා හතරකට වරදකරු වු අතර වසර හතලිහක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. එම සිරදඬුවම් එකවර වසර දහයකින් ගෙවි යන ලෙසද නියම කළේය. එමෙන්ම මෙම වරදකරුවන් මින් පෙර අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට රැඳවුම් භාරයේ සහ සිරදඬුවම් විඳ ඇති වසර තුනහාමාරක කාලය මෙම නියම කළ වසර දහයක සිරදඬුවම් කාළයෙන් අඩු කර වසර හයහාමාරක සිරදඬුවම් නියම කරන ලෙසද විනිසුරු මඩුල්ල දන්වා සිටියේය.

එම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2019 ජනවාරි දාසය වැනිදා බවත් සහරාන්  හශිම් ප්‍රමුඛ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිළිබඳව ඔවුන් විමර්ශන නිලධාරීන්ට සත්‍යය හෙළිකර තිබුණේ නම් පාස්කු ප්‍රහාර මාලාව පවා වළක්වා ගැනීමට හැකියාව තිබූ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර  විනිසුරු මඩුල්ල අමතමින් ප්‍රකාශ කළේය.

 

ඥානසාර හිමියන්ට නියම කළ මාස 9ක සිරදඬුවම මහාධිකරණය ස්ථීර කරයි

මාධ්‍ය සාකච්ජාකදී මුස්ලිම් සිංහල ජනයා අතර අපහාසයක් ඇතිවන අන්දමින් ප්‍රකාශයක් සිදු කළ බව කියන සිද්ධියට අදාලව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිරගතව සිටින  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කළ මාස 9ක සිරදඬුවම මහාධිකරණය විසින් ස්ථීර කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා (7)  දන්වා සිටියා.

 ඥානසාර හිමියන් විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ අභියචනය නිෂ්ප්‍රභා කරන බවද එම තින්දුවේ සදහන්ව තිබුණා.

මේ අතර ඥානසාර හිමි නැවත් 07 වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණට ගිහි ඇඳුමින් පැමිණියා. ඒ මහ සංඝරත්නයේ පිරිත් සඥ්ඥායනා මධයේය.

2016 වසරේ ජූලි මස 08 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී “ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ.” යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංගනය වන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

එම නඩුවට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්  ලිහිල් වැඩ සහිත මාස 09 ක සිරදඬුවම් නියම කළේය.

මාධ්‍ය සාකච්ජාකදී මුස්ලිම් සිංහල ජනයා අතර අපහාසයක් ඇතිවන අන්දමින් ප්‍රකාශයක් සිදු කළ බව කියන සිද්ධියට අදාලව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිරගතව සිටින  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කළ මාස 9ක සිරදඬුවම මහාධිකරණය විසින් ස්ථීර කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා එදින  දන්වා සිටියේය.

 ඥානසාර හිමියන් විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ අභියචනය නිෂ්ප්‍රභා කරන බවද එම තින්දුවේ සදහන්ව තිබුණි.

සැකකාර හිමිනම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ පවසා සිට්යේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචනයක් මෙම නියෝගය සම්බන්ධයෙන් යොමු කර ඇති බවයි.

ඒ අනුව සැකකාර හිමිනම වෙනුවෙන් අධිකරණය පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ  පවසා සිටියේ එම ලබා දුන් තීන්දුවට එරෙහිව  ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලුම් පත්‍රයක් යොමු කර ඇති බවයි.

 

නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි හයක්, රිවෝල්වර, ක්ලේමෝ බෝම්බයක්, අත්බෝම්බ තුනක් හා ජීව පතුරම් 542ක් ඇතුළු අවි ආයුධ තොගයක් සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව යලි නොවැම්බර් 11 වැනිදා කැඳනවන ලෙස නියෝග කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල නියෝග කළේ ය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, රවිඳු ගුණවර්ධන, ශ්‍යාමලි ප්‍රියදර්ශනී පෙරේරා (වාස් ගුණවර්ධනගේ බිරිඳ) හිටපු උපපොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ හිටපු පොලිස් නිලධාරීන් ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පෙර කී චෝදනා ඇතුළු අධිචෝදනා 56ක් යටතේ 2026.06.08 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති නඩුව අද  (07) පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවනු ලැබීය.

මේ අතර අල්ලස් කොමිසම තවත් වරෙන්තුකරුවෙක් අල්ලා ගත්තේය.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අධිකරණයේ ගොනුකර තිබෙන නඩුවකට අවස්ථා කිහිපයකදීම අධිකරණයේ පෙනී නොසිටීම නිසා විවෘත වරෙන්තු නිකුත් කර සිටියදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගනු ලැබූ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණය  නියෝග කරයි.

මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම නියෝගය නිකුත් කළේය.

2006 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සංවිධායකත්වයෙන් ලන්ඩන් නුවර පැවති ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකදී හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ පහළවකට අධික මුදලක් මහා භාණ්ඩාගාරය රෙගුලාසි වලට පටහැනිව ගෙවීම සඳහා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම මගින් අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නමැති වරද සිදු කර ඇතැයි චෝදනා කරමින් රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2020 වසරේදී කොළඹ මහාධිකරණ හමුවේ මෙම නඩුව පවරනු ලැබීය.

එම විත්තිකරු නඩු විභාගය දිගින් දිගටම පෙනී නොසිටීම නිසා 2025 වසරේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට මහාධිකරණය වරෙන්තුත් කොට ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමට පියවර ගෙන තිබුණි.

 

ශිරන්ති රාජපක්ෂ ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාරයට; ප්‍රදීප් කාරියවසම්ට ඇප

අවසානයේ දී 5 වැනිදා ලංකාවට ආව ශිරන්ති රාජපක්ෂ 7 වැනිදා පස්වරුවේ බන්ධනාගාරගත විය. මැලේසියාවේ සිංගප්පූරුවේ සාප්පු සාවාරියේ යෙදී මිලදී ගත් දෑ බලන්නටවත් ඇයට ඉඩක් නොවීය. අල්ලස් කොමිසට නිවසටම ගොස් අත්අඩංගුවට ගෙන තිබුණි.

"සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගත්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ  ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත  නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ඇප මත  මුදා හැරිිමට නියෝග කළා.

 

ගෝඨාභය රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න