රාජ්‍ය සුබසාධන පද්ධතියේ වටිනාම සේවාවක් වන නිදහස් අධ්‍යාපනයට ගුරු හිඟය තුළ බරපතළ බලපෑම් එල්ලවන අවධියේ එය මගහරවා ගැනීමට සංවර්ධන නිලධාරී උපාධිධාරින් 22000ක් එම ගුරු හිඟය පියවීම සඳහා එදා කටයුතු කළා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එම ප්‍රකාශයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ගුරු හිඟය මගහරවා ගැනීමට සඳහා දැනටත් 17000ක් වැඩ
''වසර 5-10 කාලයක් පුරා ජනාධිපතිවරයා ගේ කැබිනට් අනුමැතිය තුළ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කලාප කාර්යාලවල ලිඛිත නිර්දේශ තුළ මේ 22000කට ආසන්න සංවර්ධන නිලධාරී ගුරුවරුන් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න විශිෂ්ට සේවාවක් ඉටු කළත් මේ වන විට මේ 22000 ප්‍රමාණය 17000 දක්වා අඩු වෙලා තිබෙනවා. එයට හේතුව විවිධ අවස්ථාවල මොවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නවා කියල කිව්ව මේ ක්ෂෙත්‍රයෙන් 5000ක් පමණ ඉවත් වෙලා. දැනටත් 17000ක් පමණ ගුරු හිඟය මගහරවා ගැනීමට විශිෂ්ට සේවාවක් ඉටු කරනවා.
ආණ්ඩුව ගුරු සංවර්ධන නිලධාරීන් රවටලා
පසුගිය කාලයේ වත්මන් රජය විපක්ෂයේ සිටින විට මේ ගුරු සංවර්ධන නිලධාරින්ට දුන් පොරොන්දුවක් තමයි මේ අය ගුරු සේවයට බඳවා ගන්නවා කියපු එක. ජනාධිපතිවරයා කැබිනට් අමාත්‍යවරු පාර්ලිමේන්තුවේ රජයේ මන්ත්‍රීවරුන් මේ පොරොන්දු අවස්ථා රැසක ම දුන්නා. සමථකරණ යෝජනාවක් අනුව මොවුන් අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස 2.2 ශ්‍රේණියට බදවා ගෙන පශ්චාත් උපාධිය සමත් වීම හරහා ගුරුවරුන් ලෙස ස්ථිර වීමට හැකියාව පවතිනවා. මෙවැනි තීන්දුවක් තිබිය දී පවා රජයේ ඇමතිවරුන් කියන ආකාරයට මොවුන් ගුරු සේවයට බදවා ගැනීමට නොහැකි බවට පවසනවා. එදා ඡන්ද කාලයේ මෙවැනි කතා නොකියා දැන් ගුරු සංවර්ධන නිලධාරීන් රවටලා.
කල් නොගෙන නිවැරැදි තීන්දුවක් ගන්න
නිදහස් අධ්‍යාපනයේ ගුරු හිඟයක් පැවැති අවස්ථාවේ මොවුන් සේවය කළා. එදා මොවුන්ව ඉහළ සුදුසුකම් ඇති අය ලෙස සලකා අද සුදුසුකම් නැති බව පැවසීම ම ගැටලුවක්. අධ්‍යාපන අමාත්‍යංශය හිතාමතාම විභාග පවත්වන්නේ නැතිව මොවුන් ඉගැන්වීම් කටයුතු සඳහා යොදාගෙන තිබෙනවා. මේ අය අතර සමහරු නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලෙස ද කටයුතු කරන බැවින් රජය මොවුන් ගැන සිතිය යුතු යි. වසර ගණනාවක් අත්දැකීම් ඇති මේ අයට ඉහළම සුදුසුකම් ඇති නිසා පැහැදිලිවම තවදුරටත් බොරු පොරොන්දු ලබා නොදී, බොරු සාකච්ඡා ලබා නොදී, තවදුරටත් රැවටිල්ල, බොරුව, මංමුළාව සිදු නොකර, කල් ගන්නේ නැතිව නිවැරදිව තීන්දු තීරණ ගත යුතු යි.''

