කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පැමිණිල්ලක සාක්ෂි වසන් කිරීමට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් අද (11) පෙරවරැවේ බාර දෙමින් ඉල්ලීමක් කළහ.
කතානායකවරයාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව දූෂණ චෝදනා පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති අවස්ථාවක ඊට අදාල සාක්ෂි වසන් කිරීමට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඔහු උත්සහ දරා ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.
කනායකවරයාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට මෙම දූෂණ චෝදනා පැමිණිල්ල අල්ලස් කොමිසමට බාර දෙනු ලැබුවේ දැනට වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න විසිනි.
එම පැමිණිල්ලට අදාළ චෝදනා සම්බන්ධයෙන් කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් තොරතුරු වාර්තාවක් කතානායකවරයාට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියට පසුගියදා ලිඛිතව දැනුම් දෙමින් මෙම බලපෑම කර ඇති බවද පැමිණිල්ලේ දැක්වේ.
චමින්ද කුලරත්න ගේ පැමිණිල්ලේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් එම චෝදනා එල්ල වී ඇති අය විසින්ම වාර්තාවක් කැඳවනු ලැබීමට කටයුතු කිරීම කොම්ෂන් සභාවේ කටයුතුවලට අයුතු බලපෑමක් කිරීමක් බව හැඟීම යැයිද එම මන්ත්‍රීවරු කියා සිටිති.
චමීර ගාල්ලගේ යන අයගේ ලිපිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර ඔහුට එරෙහිව නිත්‍යානුකූල පියවර ගන්නා ලෙසත් කතානායකවරයාට එරෙහි පැමිණිල්ලට අදාල තොරතුරු කිසිදු පාර්ශවයකට නිකුත් නොකරන ලෙස සහ ඒවා සුරක්ෂිතව තබා ගන්නා ලෙසට පාර්ලිමේන්තුවේ මහලේකම් වරියට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම මන්ත්‍රීවරු අල්ලස් කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
මෙම පැමිණිල්ල බාර දීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, චමින්ද විජේසිරි සහ චතුර ගලප්පත්ති යන අය ද පක්ෂයේ නීතිඥවරු දෙදෙනෙක්ද සහභාගි වූහ.
(සුජිත් හේවාජුලිගේ )

