කාන්තාවන් ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන බවට ජාතික ජනබලවේග ආණ්ඩුව ජනතාවට පොරොන්දුවක් ලබා දුන් බවත්, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව පිහිටුවීම එම පොරොන්දුවේ එක් අංගයක් වුව ද කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව මාස හතරක කාලයක සිට අක්‍රීය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිණී චමින්ද්‍රානි කිරිඇල්ල පැවසුවා ය.
මන්ත්‍රිවරිය මේ බව ප්‍රකාශ කළේ අද (16) සමගි ජන බලවේගය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිණී චමින්ද්‍රානි කිරිඇල්ල...
පළමු සභාපතිවරිය ම ඉල්ලා අස් වුණා
‘‘කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී තිබෙනවා. මෙම කොමිසන් සභාව ස්ථාපිත කර තිබෙන්නේ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේයි. කෙසේ නමුත් වර්තමාන ජාතික ජනබලවේග රජය බලයට පත්වුණාට පසුවත් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව පිහිටුවන්න කටයුතු කරනු ලැබුවා. ඒ අනුව එම කොමිසන් සභාවට සමාජිකයන් පත් කරන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා. පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් මෙම කොමිසන් සභාව සඳහා නම් දෙකක් යෝජනා කරනු ලැබුවා. එම කොමිසන් සභාව සඳහා සමාජිකයන් පත් කිරීමට ජනාධිපතිවරයාටත් හැකියාවක් තිබෙනවා. කෙසේ නමුත් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව වෙනුවෙන් පත්වුණ සභාපතිනිය වන වෛද්‍ය රමණි ජයසුන්දර මහත්මිය එම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය ජනාධිපතිවරයාට යවා තිබෙනවා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන බවට ජාතික ජනබලවේග ආණ්ඩුව ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා. මෙම කොමිසන් සභාව පිහිටුවීම එම පොරොන්දුවේ එක් අංගයක්. නමුත් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව මාස හතක කාලයක සිට අක්‍රීය වී තිබෙනවා. හිටපු සභාපතිනිය කෙටි කාලයක් තුළ ඉල්ලා අස්වීම ඊට බලපෑ ප්‍රධාන හේතුවයි. ඒ වගේම මෙම කොමිසන් සභාපති සමාජිකයන් පත් කළත් අයවැයෙන් එම කොමිසන් සභාවට කිසිදු ප්‍රතිපාදනයක් වෙන් කර නැහැ.
රැස්වීමට අගමැතිවරිය නෑ
මෙම කොමිසන් සභාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ඇමැතිවරිය සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රිවරියන් සහභාගි වී තිබුණා. නමුත් එම සාකච්ඡාවට අගමැතිවරිය සහභාගි වී තිබුණේ නැහැ. කාන්තාවන් බලපාන වැදගත් සාකච්ඡාවක් සඳහා අගමැතිවරිය ගේ සහභාගිත්වය වැදගත් වෙනවා. නමුත් අගමැතිවරිය එම සාකච්ඡාවට සම්බන්ධ නොවීම සම්බන්ධයෙන් කණගාටුවට පත් වෙනවා. අගමැතිවරිය එම සාකච්ඡාවට පැමිණියා නම් කොමිසන් සභාව සම්බන්ධයෙන් වඩා හොඳ තින්දු තීරණ ගැනීමට හැකියාව තිබුණා.
කොමිෂන් සභාව වෙනුවෙන් අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර නැහැ
කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර නැත්තේ ඇයි දැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය භාර ඇමැතිවරියගෙන් ප්‍රශ්න කළා. ඒ වගේම කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව පවත්වාගෙන යාමට ස්වාධීන ස්ථානයක් අවශ්‍ය බවත් එම සාකච්ඡාවට පැමිණි මන්ත්‍රිවරියන් ප්‍රකාශ කරනු ලැබුවා. කෙසේ නමුත් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් කොමිසන් සභාවේ වැඩ කටයුතු කරගෙන යාමට නොහැකි වී තිබෙනවා. කෙසේ නමුත් අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත තිබුණේ 2025 වසරේ මැයි මාසයේ බවත් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව පත්කළේ 2025 සැප්තැම්බර් මාසයේ බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය භාර ඇමැතිවරිය ජනාධිපති ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.
ආණ්ඩුව තුළ කිසිදු සංවිධානාත්මක බවක් නැහැ
කෙසේ නමුත් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට නම් යෝජනා කළේ 2025 ජනවාරි මාසයේ දී. ඒ වගේම කාන්තාවන් ගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීමට ජාතික ජනබලවේග රජය බැදී සිටින බවත් ඒ අනුව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය භාර ඇමැතිවරිය 2025 පෙබරවාරි මාසයේ ජිනිවා නුවර පැවැති සමුළුවක දී ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව ස්ථාපිත කරන බව නොදැන සිටි බවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය භාර ඇමැතිවරියට ප්‍රකාශ කිරීම පිළිබඳව කණගාටුවට පත් වෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව තුළ කිසිදු සංවිධානයක් නැති බව මෙයින් පැහැදිලි වෙනවා. ඒ වගේම මෙම කටයුතු වලින් රජයේ අරමුණ හොඳින්ම පැහැදිලි වෙනවා. ආණ්ඩුව කාන්තා කොමිසන් සභා පිළිබඳව කතා කළත් ඒ සඳහා අවශ්‍ය වන කිසිදු ප්‍රතිපාදනයක් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කර නැහැ. කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව පිළිබඳව රජය කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැති බවක් මෙයින් පෙනී යනවා.
වහාම කොමිෂන් සභාවට සභාපතිවරියක් පත් කරන්න
ඒ වගේම කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ හිටපු සභාපතිතුමිය නැවත පත්කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවේ දී ස්වාධීන සමාජිකාවන් ඉල්ලා සිටියා. ඇයත් සමග සියලු දෙනාටම හොඳින් වැඩ කටයුතු සිදුකිරීමට පහසු බව ස්වාධීන සමාජිකාවන් ඉල්ලා සිටියා. කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය අද්දැකිම් තිබෙන දක්ෂ කාන්තාවක්. එවැනි කාන්තාවක් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සභාපතිධුරය දැරිම සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැහැ. කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව සම්බන්ධයෙන් තිබුණු ප්‍රශ්න සහ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට හිටපු සභාපතිතුමිය ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් හිටපු සභාපතිතුමියට දැනුම් දීමක් සිදුකරලා නැහැ. කෙසේ නමුත් හිටපු සභාපතිතුමිය හෝ අලුත් සභාපතිවරියක් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට හැකි ඉක්මනින් පත් කරන්නැයි සමගි ජනබලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම රටේ සමස්ත කාත්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීමට ස්ථාපිත කළ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව කඩිනම් යළි සක්‍රීය කර ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
පාතාල ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක්
අකුරේගොඩ දී නීතිඥවරයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සියලු නීතිඥවරුන් අද දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. රටේ ක්‍රියාත්මක වන පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. මහජනතාව ගේ ආරක්ෂාවටත් මෙය විශාල ලෙස බලපා තිබෙනවා. 2025 වසරේ දී පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් රට තුළ සිදුවී තිබෙන ඝාතන දිනෙන් දින වැඩිවී තිබෙනවා. 2026 වසරේ අද දක්වා ඝාතන නවයක් සිදුවී තිබෙන බව පුවත්පත් වාර්තා කර තිබුණා. පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය වසරේදී වෙඩි වැදිම් 114 ක් සිදුවෙලා තිබෙනවා. 60ක් පමණ ඝාතනය වී තිබෙනවා. කෙසේ නමුත් මහජන ආරක්ෂාවට මේ හේතුවෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා.''

