ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජෝර්ජිවා, ශ්‍රී ලංකාව වර්තමානයේ අත්පත් කරගෙන ඇති ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව එහි දී සිය ප්‍රසාදය පළ කළාය.
රජයේ කැපවීම ඇගයීමට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වත්මන් රජය දක්වන ප්‍රතිපත්තිමය කැපවීම ජෝර්ජිවා ගේ ඇගයීමට ලක්විය. විශේෂයෙන් ම මෑතකදී ඇති වූ 'දිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ හානි සහ පවතින ආර්ථික අභියෝග කළමනාකරණය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සමග පැවැති මෙම හමුවේ දී අවධානය යොමු විය.
මහ බැංකු අධිපති සමඟ හමුව
සිය සංචාරයට සමගාමීව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ශ්‍රී ලංකා මහ බැංකුවේ දී එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද හමු වූවාය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මෙරට IMF සාමාජිකත්වයේ 75 වැනි සංවත්සරයට සමගාමීව මෙම හමුව සිදුවීම විශේෂත්වයකි.
වර්තමාන විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ලබා දෙන සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට IMF ලබා දෙන ක්‍රියාකාරී දායකත්වය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා එහි දී සිය කෘතඥතාව පළ කළේ ය.
ශ්‍රී ලංකාව දැනට පවත්වාගෙන යන ආර්ථික වැඩපිළිවෙළ "සාර්ථක කතාවක්" (Success Story) ලෙස හඳුන්වා දුන් IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ දිගට ම පවත්වාගෙන යෑම හරහා ශ්‍රී ලංකාවට ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගත හැකි බවට විශ්වාසය පළ කළා ය.


