වර්තමාන ආණ්ඩුවට ආගම පිළිබඳව සැඟවුණ න්‍යාය පත්‍රයක් තිබේ දැයි සැකයක්...? - රංජිත් මද්දුම බණ්ඩාර

වර්තමාන ආණ්ඩුවට ආගම පිළිබඳව සැඟවුණ න්‍යාය පත්‍රයක් තිබේ දැයි සැකයක්...? - රංජිත් මද්දුම බණ්ඩාර

ආණ්ඩුවේ ජනප්‍රියභාවය වැඩි කරගැනීම සඳහා ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට ආණ්ඩුව කටයුතු කරන අතර ආගම පිළිබඳව සැගවුණ න්‍යාය පත්‍රයක් වර්තමාන ආණ්ඩුවට ඇතැයි සැකයක් පවතින්නේ යැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසී ය.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (18) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර...

මෙම කණ්ඩායමෙන් රටේ ආගම් ආරක්ෂා කර ගන්න සිද්ධ වෙනවා

''රටේ ජාතික ආරක්ෂාවට , මහජන ආරක්ෂාවට සහ රටේ සංස්කෘතියට සදාචාරයට ආගමට විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. රට තුළ ආගම් භේදයක් ඇති කර, ජාති භේදයක් ඇති කර දේශපාලන වාසියක් ලබා ගැනීමට ජාතික ජනබලවේගය සහ අනුර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කරනු ලබනවා. දකුණේ ජනතාව උතුරට පැමිණෙන්නේ වෛරට පතුරුවන්න බවත් උතුරේ ජනතාවට දකුණට පැමිණෙන්නේ වෛරය පතුරුවන්න බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. යාපනයේ ද්‍රවඩ ජනතාව කතරගම වන්දනාමාන කරන්න පැමිණියා. ඒ වගේම දකුණේ බෞද්ධ ජනතාව නාගදිපය වන්දනාමාන කරන්න ගොස් තිබුණා. කිසිදු ගැටලුවක් තිබුණේ නැහැ. ආණ්ඩුවේ ජනප්‍රියභාවය වැඩි කරගන්න ආගම්වාදය ජාතිවාදය අවුස්සන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒ වගේම ආගම පිළිබඳව සැගවුණ න්‍යාය පත්‍රයක් වර්තමාන ආණ්ඩුවට තිබෙන බවට සැකයක් තිබෙනවා. අධිරාජ්‍යවාදින් ගේ සමයේ දී බෞද්ධ ආගමික කටයුතුවලට කිසිදු බලපෑමක් එල්ල වුණේ නැහැ. නමුත් දළදා මාලිගාවට, කතරගම පෙරහරට බෝම්බ ප්‍රහාර එල්ල කළ පිරිස බලය ලබාගෙන තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ සිට රටේ සංස්කෘතියට, ආගමට දැඩි පහරක් එල්ල කළා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඝාතනය කරන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනු ලැබුවා. බෞද්ධ ආගමට මෙවැනි විනාශයක් සිදුකළ පිරිසක් අද රටේ පාලන බලය ලබාගෙන තිබෙනවා. මෙම පිරිස අතීතයේ බෞද්ධ ආගමට සිදුකර තිබෙන දේවල් භයානකයි. ඒ නිසා මෙම කණ්ඩායමෙන් රටේ ආගම් ආරක්ෂා කර ගන්න සිද්ධ වෙනවා. ආණ්ඩුවට අවශ්‍ය පරිදි රටේ ආගම්, ජාතින්, සංස්කෘතින් වෙනස් කරන්න උත්සහ කරනවා. නමුත් ඒවාට ඉඩ නොදිය යුතුයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කෝ...?

කෙසේ නමුත් සියලුම ආගම්වලට, සියලු ම ජාතින්ට ප්‍රජාතන්ත්‍රවාදිව සිටිය හැකි එකම පක්ෂය වන්නේ සමගි ජනබලවේගය යි. ජාතින් අතර තිබෙන මිත්‍රත්වය විනාශ කරන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලන බව පවසමින් කතෝලික ජනතාවට මුලාවට පත් කරන්න ජාතික ජනබලවේග ආණ්ඩුව බලය ලබාගැනීමට පෙර සිටිම කටයුතු කළා. නමුත් තවමත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. වෙඩි තැබිම්වලින් වැඩිම පිරිසක් මිය ගොස් තිබෙන්නේ පසුගිය වසරේ දී. වෙඩි තැබිමේ සිද්ධින් 114 ක් සිදුවෙලා තිබෙනවා. එම වෙඩි තැබිම් වලින් පුද්ගලයන් 60 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. 2026 වසරේ ගතවූ දින කිහිපය තුළ පුද්ගලයින් 9 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පසුගියදා අධි ආරක්ෂිත කලාපයක දී නීතිඥවරයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබුණා. ඒ වගේම මෙම ඝාතනය පාතාලය සමාජිකයන් පිරිසක් විසින් සිදුකළ ඝාතනයක් බව එම සිද්ධිය සිදු වී සුළු වේලාවකට පසු පොලිසිය ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් මෙවැනි ප්‍රකාශ සිදුකිරිමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලිසියෙන් සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුක්ත පරික්ෂණයක් සිදුකරන ලෙස නීතිය ක්‍රියාත්මක කරන අංශවලින් සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා.

ගල්අඟරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආණ්ඩුවේ හිතවතෙකුට

රටේ වංචාව දුෂණය නැති කරන බව බලය ලබාගැනීමට පෙර ජාතික ජනබලවේගයේ පිරිස් ප්‍රකාශ කළා. නමුත් ආණ්ඩුවේ ආශිර්වාදයෙන් රටේ මේ වනවිට දැවැන්ත වංචා දුෂණ සිදුවෙනවා. ගල් අඟුරු ප්‍රසම්පාදනය හරහා ආණ්ඩුව විශාල මුදල් වංචාවක් සිදුකර තිබෙනවා. ගල් අගුරු වංචාව හරහා මිලියන 4000 කට වඩා වැඩි වංචාවක් සිදුවෙලා තිබෙනවා. ආණ්ඩුවට අවශ්‍ය පරිදි ගල් අඟරු ප්‍රසම්පාදනය සඳහා වන කාලය දීර්ඝ කර, ආණ්ඩුවේ හිතවතෙකුට ගල්අඟරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රදානය කරන්න කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් මෙම ගල්අඟුරු වංචාව හරහා සිදුවන පාඩුව රටේ මහ ජනතාවගෙන් අය කරන්න ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වෙනවා. මෙම මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් සමගි ජනබලවේගය අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කතා කරන්නත් සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් ගල් අඟුරු වංචාවට අමතරව ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම, බහලුම් 323ක වංචාව සම්බන්ධයෙන් සමගි ජනබලවේග රජයක් යටතේ මෙම සිද්ධින් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලබාදෙන්න කටයුතු කරනු ලබනවා. ඒ වගේම ආණ්ඩුවේ වංචා දුෂණ විගණනය වීම වැළැක්වීමට විගණකාධිපති ධුරයට ආණ්ඩුවේ හිතවතෙකු පත් කරන්න ආණ්ඩුව දැඩි උත්සාහයක නිතර වුණා. නමුත් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් එම කටයුත්තට ඉඩ ලබාදුන්නේ නැහැ.

ආණ්ඩුව මහා පරිමාණ වී මෝල් හිමියන්ව පෝෂණය කරනවා

මේ වනවිට මහ කන්නයේ අස්වැන්න ලැබෙමින් පවතිනවා. මහ කන්නයේ අස්වැන්න ලැබීමත් සමග වීවලට සහතික මිලක් ලබාදෙන්න රජය කටයුතු කළ යුතුයි. මේ වනවිට ගොවීන් තෙත වී ලබාදෙන්නේ රුපියන් 80 ත් 90 ත් අතර මුදලකට. නමුත් රුපියල් 110 ට ගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. නමුත් ගොවීන්ගේ තෙත වී එම මිලට ගන්නේ නැහැ. ආණ්ඩුව මහා පරිමාණ වී මෝල් හිමියන්ව පෝෂණය කරනවා මිසක අහිංසක ගොවී ජනතාවට සාධාරණයක් ඉටු කරන්න කටයුතු කරන්නේ නැහැ. වී ගබඩා විවෘත කර තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් වී ගබඩා සඳහා වී මිලදී ගැනීම සිදුවන්නේ නැහැ. දිට්වා සුළි කුණාටුවෙන් වගා බිම් ගණනාවක් විනාශයට පත්වුණා. නමුත් තවමත් විනාශ වුණ වගාබිම්වලට නිසි වන්දියක් ආණ්ඩුවක් ලබාදිලා නැහැ.

වෙල්ලස්සේ සීනි කර්මාන්ත ශාලා වසා දැමීමේ උත්සාහයක්

උක් ගොවීන් දැඩි අසරණභාවයට පත්ව සිටිනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ ආර්ථික ශක්තිය වැඩිවුණේ උක් කර්මාන්තය හේතුවෙන්. උක් ගොවීන් දැන් වෙනත් වගාවන්වලට යොමු වී තිබෙනවා. පසුගිය වසරේදී මිලදී ගල් උක්වලට තවමත් මුදල් ගෙවා නැති බව උක් ගොවීන් පවසනවා. එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුව සීනි ආනයනය කරන්න සුදානම් වෙනවා. සියඹලාන්ඩුව ප්‍රදේශයේ සීනි කර්මාන්තශාලාව ආරම්භ කිරීමට ඉඩ නොදුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එදා මිනිස්සු මරලා මෙම කර්මාන්තශාලා වහන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළා. බලය ලබාගෙන වෙල්ලස්සේ සීනි කර්මාන්තශාලා වහන්න උත්සහ දරනවා.

වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න

ආණ්ඩුව කෙරෙහි තිබෙන ජනතා ප්‍රසාදය වැඩි වී තිබෙන බව වෙරිටේ රිසච් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. ජනතා ප්‍රසාදය වැඩි වී තිබෙනවා නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා. නියමිත දිනට පළාත් සභා මැතිවරණය පවත්වන බව ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් සඳහන් වෙනවා. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා. ඒ සඳහා සුළු සංශෝධයක් සිදුකරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා විපක්ෂය සහාය ලබාදෙනවා. ඒ නිසා පළාත් සභා මැතිවරණය වහාම පවත්වන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ අනුව ආණ්ඩුව කෙරෙහි තිබෙන ජනතා ප්‍රසාදය මැන බලාගැනීමට හැකියාව තිබෙනවා.

ප්‍රභාකරන් බිහි කරේ විජේවීර

යුද්ධය සිදුකරන්න වර්තමාන ආණ්ඩුවේ සිටින පිරිස ගෙන් අවසර ගත්තේ නැති බව අගමැතිවරිය ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් එල් ටී ටී ඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ට තුවක්කු ගන්න පුරුදු කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර. ඔහුයි මුලින් ම තුවක්කු ගෙන මිනිස්සු ඝාතනය කරන්න පටන් ගත්තේ. රටේ ආර්ථික විනාශයට, සදාචාරයේ විනාශයට රෝහණ විජේවීර ඇතුළු පිරිස වගකිව යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඡන්දය ලබාදෙන ජනතාව ඝාතනය කරනවානම් ඒ සඳහා නීතිඥානුකුල ආණ්ඩු විවිධ පියවරයන් ගනු ලැබුවා. මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඡන්දය ලබාදුන්න පුද්ගලයින් හතරක් ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඡන්දය ලබාදුන්න නිරායුධ පුරවැසියන් ඝාතනය කරන විට එම පුරවැසියන් බේරා ගැනීමට ත්‍රස්තවාදය මර්දනය කරන්න එවක පැවැති ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා. උතුරේ යුද්ධයට අවශ්‍ය ශක්තිය ලබාදීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ දකුණෙත් යුද්ධයක් ආරම්භ කළා. රට දෙකඩ කිරිමේ ජනතා විමුක්ති පෙරමුණේ උත්සාහය එදා සිදුකරන්න බැරි වුණා නමුත් අද එය බලය ලබාගෙන සිදුකරන්න යනවාදැයි සැකයක් තිබෙනවා.

එජාප සජබ එකතු වුනොත් ආණ්ඩුව අසරණයි

ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට විරුද්ධව රජයේ සේවකයන්, වැඩ කරන ජනතාව, වෘත්තිකයන් විරෝධය පළ කරනවා. ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට විරුද්ධව මහා සංඝරත්නයත් විරෝධය පළ කරනවා. සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවීම වළක්වන්නත් විවිධ කණ්ඩායම් කටයුතු කරනවා. සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වුණොත් ආණ්ඩුව දැඩි අසරණභාවයකට පත් වෙනවා.

ජවිපෙ මන්ත්‍රීවරු ලබාගත් විශ්‍රාම වැටුප් නැවත භාණ්ඩාගාරයට...?

අවංක දේශපාලඥයින් සහ දුෂිත දේශපාලඥයින් පාර්ලිමේන්තුවේ සිටිනවා. එනිසා අවංක දේශපාලඥයින් දේශපාලනයෙන් සමුගත් පසු ඔවුන්ට ජිවත් වීමට ආදායම් මාර්ගයක් නැතිවී යනවා. විශ්‍රාම වැටුප අවශ්‍ය නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය අවශ්‍ය නැති බව දන්වන්න පුළුවන්. නමුත් ඇතැම් මන්ත්‍රීවරු ඔවුන්ගේ මාසික ඖෂධ ලබාගන්නේ මෙම විශ්‍රාම වැටුපෙන්. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විශ්‍රාම වැටුප් ලබාගත්තා. ප්‍රතිපත්තිගරුක දේශපාලන කණ්ඩායමක් නම් එම මුදල් නැවත මහා භාණ්ඩාගාරයට ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. විශ්‍රාම වැටුප් ලබාගැනීම වැරදි නම් ඔවුන් ලබාගත් විශ්‍රාම වැටුප නැවත මහා භාණ්ඩාගාරයට ලබා දෙන්න. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප පක්ෂය විසින් ලබාගත් බව ඇතැම් පිරිස් ප්‍රකාශ කර තිබුණා. විශ්‍රාම වැටුප් පක්ෂය නගා සිටුවන්නයි එම මුදල් ලබාගෙන තිබෙන්නේ. අවංකව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට එම විශ්‍රාම වැටුප ලබාදිය යුතුයි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න