කොළඹ, වෘත්තිවේදීන්ගේ විද්වත් සංගම් ශ්‍රවණාගාරයේ දී අද (27) දැනට ක්‍රියාත්මක සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමකට අත්සන් කළේ ය.
රෝගීන්ගේ අයිතිවාසිකම්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගතය බරපතළ අභියෝගයකට ලක්ව ඇති වර්තමාන පසුබිම තුළ, සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් “සෞඛ්‍ය සේවා වෘත්තීය සමඟති සන්ධානය” නව සමූහ ව්‍යුහයක් ලෙස අද කොළඹ වෘත්තීයවේදීන්ගේ සංගම් කාර්යාලයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
මෙම සන්ධානයේ මූලික අරමුණ වන්නේ වෛද්‍ය, හෙද, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය, ද්විතියික සේවා, රියදුරු, සාත්තු සේවක සහ සෞඛ්‍ය කාර්ය සහයක ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එකම පොදු අරමුණක් යටතේ එක්කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම සහ සේවක–රෝගී අයිතිවාසිකම් එකවර සුරක්ෂිත කිරීම වේ.
වර්තමාන තත්ත්වය පිළිබඳ අපගේ අවධානය
අද සෞඛ්‍ය පද්ධතිය තුළ පහත බරපතළ ගැටලු එකවර උද්ගත වී ඇති බව අපි අවධාරණය කරමු:
කාර්ය මණ්ඩල හිඟය සහ යාවත්කාලීන නොවූ Cadre, උසස්වීම් හා පත්වීම් ප්‍රමාදය, ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය, සේවාවේ වක්‍ර පුද්ගලිකරණ ප්‍රවණතා, වෘත්තීය සමිති මර්දනය සහ දේශපාලනීකරණය, සේවකයින්ට සහ රෝගීන්ට අනාරක්ෂිත සේවා පරිසරය සහ නව නීති හරහා සේවකයා මත අසමතුලිත වගකීම් පැටවීම.
මෙම සියලු ගැටලුවල අවසාන බලපෑම එල්ල වන්නේ රෝගියාට බව අපි පැහැදිලිව සඳහන් කරමු. දිගු පෝලිම්, ශල්‍යකර්ම ප්‍රමාද, බෙහෙත් පිටතින් මිලදී ගැනීමට සිදුවීම යනාදි තත්ත්ව “නිදහස්” සෞඛ්‍ය සේවාවේ මූලික මූලධර්මයට පටහැනි වේ.
රෝගී අයිතිවාසිකම් පිළිබඳ අපගේ ස්ථාවරය
රෝගී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය ය. එහෙත් > රෝගී අයිතින් + සේවක අයිතින් + රාජ්‍ය වගකීම් යන තුනම සමතුලිතව සුරක්ෂිත කරන ප්‍රතිපත්තියක් අවශ්‍ය ය.
පහසුකම් නොමැති පද්ධතියක වගකීම සේවකයා මත පමණක් පැටවීම අනාගතයේදී රෝගියාටත් සේවකයාටත් හානිදායක වේ.
අනතුරු දීමනාව පිළිබඳ ඉල්ලීම
සෞඛ්‍ය සේවාව තුළ ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණ, ආක්‍රමණශීලී හා මානසික අවදානම් විශාල වශයෙන් පවතින බැවින්, අන්තර්ජාතික Occupational Safety and Health (OSH) මූලධර්ම අනුව සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මූලික වැටුපෙන් 15% අනතුරු (Hazard/Risk) දීමනාවක් ලබා දිය යුතුය යන්න අපගේ ඒකාබද්ධ ස්ථාවරය වේ.
රජයට ඉදිරිපත් කරන ප්‍රධාන ඉල්ලීම්
සෞඛ්‍ය සේවා වෘත්තීය සමඟති සන්ධානය ලෙස අපි රජයෙන් වහාම ඉල්ලා සිටින්නේ:
1. වෘත්තීය සමිති සමඟ විධිමත් සාකච්ඡාවක් ආරම්භ කිරීම
2. Cadre, උසස්වීම්, ස්ථානමාරු, ඖෂධ/උපකරණ හිඟය පිළිබඳ කාලසීමා සහිත ලියවිලිමය විසඳුම්
3. නිදහස් සෞඛ්‍ය සේවාවට හානි කරන පුද්ගලිකරණ ධාවන නවතා විවෘත ජාතික සංවාදයක්
4. සේවක–රෝගී අයිතිවාසිකම් එකවර සුරක්ෂිත කරන පොදු ප්‍රතිපත්තියක්
5. සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට 15% අනතුරු දීමනාව ලබා දීම
ඉදිරි ක්‍රියාමාර්ග
රජය විසින් සාධනීය සාකච්ඡාවක් සඳහා ඉක්මන් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා නායකත්වය දීමට සූදානම් බව ද අපි මෙයින් දැනුම් දෙමු.
මෙය හුදෙක් වෘත්තීය ඉල්ලීම් සටනක් නොව නිදහස් සෞඛ්‍ය සේවාව, රෝගියාගේ අයිතිය සහ සෞඛ්‍ය සේවකයාගේ ගෞරවය රැක ගැනීමේ ජාතික වගකීමක් බව අපි අවධාරණය කරමු.
v සාකච්ඡාවෙන් ගැටලු නිරාකරණය කරමු
v අයිතිවාසිකම් උදෙසා එකමුතුවෙන් සිටිමු
v නිදහස් සෞඛ්‍ය සේවාව රැකගනිමු
රවි කුමුදේශ් - කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන්, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය




