2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී මහජන අරමුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදීම පිණිස අදාළ ලේඛන සකස් කරන මෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිය නිලධාරීන්ට උපදෙස් දී ඇති බව Sunday Times පුවත්පත වාර්තා කරනවා.
යොමු කළ ප්‍රශ්නවලට තවමත් පිළිතුරු නැහැ
කුමාර ජයකොඩි, පොහොර සංස්ථාවේ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී රුපියල් මිලියන අටක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. එම චෝදනා සම්බන්ධයෙන් කොමිසම හමුවේ කරුණු දැක්වීමට සිය නීතිඥවරයාට අවස්ථාව ලබා දෙන මෙන් මීට ඉහතදී අමාත්‍යවරයා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණා. එහෙත් ලිඛිතව කරුණු දක්වන මෙන් කොමිසම ඔහුට දැනුම් දී තිබුණා. අමාත්‍යවරයා ගේ ලිඛිත කරුණු දැක්වීම සලකා බැලූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ඔහුට විරුද්ධව නඩු පැවරිය යුතු යයි කොමිසම තීන්දු කර තිබෙන බවත් පුවත්පත සඳහන් කරනවා. අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට සූදානම්ව සිටියත්, අමාත්‍යවරයා විසින් කොමිසමෙන් කරන ලද ඉල්ලීමක් හේතුවෙන් එය ප්‍රමාද විය හැකි බව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මීට ඉහත දී සඳහන් කර තිබුණා. කෙසේ වුවත්, අමාත්‍යවරයා සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රගතිය කවරක් ද යන්න ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව විමසමින් පසුගිය ජනවාරි මස 14 වෙනි දින මා යොමු කළ ප්‍රශ්නවලට ඔහු තවමත් පිළිතුරක් ඒවා නැහැ.
රංග දිසානායක ගේ සැබෑ ස්වාධීනත්වය
රංග දිසානායක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පදවියට පත්කරන ලද ආකාරය පිළිබඳව මෑතදී ආන්දෝලනයක් හටටගත් අතර, එහි දී බොහෝ දෙනකු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසින් ඔහු ගේ ක්‍රියාකලාපය අගය කළ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු වූ නන්දන ගුණතිලක පැවසුවේ ශිෂ්‍ය අවධියේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සෘජුව සම්බන්ධව සිටි බව යි; එහෙත් රංග දිසානායක එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.
මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසා තිබුණේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ සැබෑ ස්වාධීනත්වය හෙළි වනු ඇත්තේ ආණ්ඩුවේ ප්‍රතිවාදීන් සම්බන්ධයෙන් නොව පවත්නා ආණ්ඩුවේ ම බලධාරීන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කරන ආකාරය අනුව බවයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් නඩු පැවරීමත් සමග, දූෂණය සහ වංචාව පිටු දැකීම සහ දූෂිතයින්ට දඬුවම් පැමිණවීම සිය ප්‍රධානම මැතිවරණ පොරොන්දුවක් වූ ජාජබ ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව දූෂණ චෝදනා යටතේ අධි චෝදනා ලබන වත්මන් ආණ්ඩුවේ පළමු සාමාජිකයා ඔහුයි.
සරෝජ් පතිරණ

