මැදපෙරදිග කලාපයේ සේවය කරන 'රට විරුවන්' රැක ගැනීමට රජය කටයුතු කළ යුතුයි - විපක්ෂ නායක

මැදපෙරදිග කලාපයේ සේවය කරන 'රට විරුවන්' රැක ගැනීමට රජය කටයුතු කළ යුතුයි - විපක්ෂ නායක

යුද්ධය ක්‍රියාත්මක වන මොහොතේ අප රටේ රට විරුවන් ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (02) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔත්තප්පුව රංකෙතගම දී පාසල් ළමුන් 850 දෙනකුට පාසල් උපකරණ ලබා දීම වෙනුවෙන් පැවැති ජන හමුවක් අමතමිනි.

එම ජන හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

අනාගතය බාර ගන්නා දරුවන්ට නිවැරදි මාර්ගය පෙන්වා දිය යුතු යි

''මේ මොහොත වන විට අප රටේ වැඩිහිටි පරපුර, තරුණයින්, දරුවන්, ළමුන් සහ කාන්තාවන් පීඩන රැසකට මැදි වී සිටිනවා. අප රටට විදේශ ප්‍රේෂණය ලබා දෙන දශ ලක්ෂයක් ශ්‍රමිකයන් මැදපෙරදිග සේවය කරනවා. මැදපෙරදිග කලාපයේ ආරම්භ වූ යුද්ධය නිසා මොවුන් ගේ රැකියා සහ ජීවිත අනතුරට ලක්ව තිබෙනවා. මොවුන් අප රටට දැවැන්ත හුස්මක් ලබා දෙමින් විදේශ විනිමය අප රටට එවනවා. මේ යුද්ධය ක්‍රියාත්මක වන මොහොතේ අප රටේ රට විරුවන් ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කළ යුතු යි. පාසල් දූදරුවන්ට නිල ඇදුම් ලබා දීම ආරම්භ කරන ලද්දේ රණසිංහ ප්‍රේමදාස මහතා යි. එතුමා නිල ඇඳුමට අමතරව දිවා ආහාරය පවා දුන්නත් අද එය කප්පාදු වෙලා. මේ දරුවන් අප රටේ සම්පත බැවින් රටේ අනාගතය බාර ගන්නා මේ දරුවන්ට සෑම දෙමාපියෙක් ම නිසි නිවැරදි මාර්ගය පෙන්වා දිය යුතු යි. ඒ වෙනුවෙන් ඔවුන්ට දහම් අධ්‍යාපනය මෙන්ම පාසල් අධ්‍යාපනය ලබා දීමත්, හොඳ සෞඛ්‍ය සම්පන්න දරුවකු බවට පත් කරන්නට සමබල ආහාර අවශ්‍යතා දිය යුතු යි.

අද ගොවියා අසරණ වෙලා

මේ වන විට ගොවිතැන් කරන, වී වගාව කරන ගොවියා ගේ ස්ථාවරය අහිමි වෙලා. පසුගිය මැතිවරණ සමයේ වත්මන් රජයේ ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවට රු. 150ක සහතික මිල රටේ නීතිය බවට පත් කරන බව පැවසුවත් දැන් රු. 120 සහතික මිලවත් නැහැ. විෂය භාර අමාත්‍යවරයාට අනුව සහතික මිල දෙන්න තවත් වසර 2ක් යනවා. වී කිලෝවට 80ක් දුන්නත් ඉන් වියදම පවා ආවරණය කළ නොහැකිව ගොවියා අසරණ වෙලා.

ගල්අඟුරු බාල බව ඇමතිවරුත් පිළිගන්නවා

අද වන විට රටේ තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් දුප්පත් බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන පවසනවා. මේ තරම් රටේ ප්‍රමාණයක් දුප්පත් වෙලත් ක්‍රමයේ වෙනසක් කරනවා කියූ වත්මන් රජය ගල්අඟුරුවලින් පවා ගසා කනවා. බවත් නොරොච්චෝලේ බලාගාරයට මෙතෙක් ආව නැව් 10ම ප්‍රමිතියෙන් තොර බවත් නොරොච්චෝලේ බලාගාරයට කවදාවත් නොමැතිව මෙගාවොට් 900 නිපදවන්න නොහැකි වී තිබෙනවා. බලාගාරයේ වාර්තාවලින් පවා මේවා පැහැදිලිව පෙන්නුම් කරනවා. මේ සම්බන්ධයෙන් ඇමතිවරු පවා පිළිගෙන තිබෙනවා.

සුළු දෙයක්වත් නොදන්න පිරිසක් ආණ්ඩු බලය ලබා ගෙන

මෙවැනි තත්ත්වයක් තිබිය දී රජයේ මැති ඇමතිවරු ගෞරවනීය මහා සංඝරත්නයට අපහාස කිරීම නින්දා කිරීම හා අවලාද නැගීම සිදු කරනවා. ස්වාමීන් වහන්සේලාට වනචාරීන් යැයි අමාත්‍යවරු ආමන්ත්‍රණය කරනවා. මොවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට මුල්තැන ලබා දීම ගැනවත් හරියට දන්නෙ නැහැ. එබඳු සුළු දෙයක්වත් නොදන්න පිරිසක් ආණ්ඩු බලය ලබා ගෙන තිබෙනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න