මැදපෙරදිග යුද ගැටුමෙන් හමුවේ රටට ඇති අභියෝග ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී රැස්වී සාකච්ජා කර තිබුණා.
එහිදී වැඩි අවධානයක් යොමු කර තිබුණේ, මේ වන විට මැදපෙරදිග කලාපයේ උද්ගත වි ඇති යුදමය තත්ත්වය සමග එම කළාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් ගේ ආරක්ෂාව සහ ඔවුන් ගේ පහසුකම් සැලසීමේ කටයුතු කවරාකරයෙන් සිදුවිය යුතුද යන්න ගැනයි.
ආණ්ඩුවේ ඇස් ඇරවිය යුතුයි
“ අපේ ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 10 විතර මැදපෙරදිග කලාපයේ සේවය කරනවා. ඒ අයගේ ජීවිත ආරක්ෂා කිරීමත්, ඒ අයගේ රැකියා සුරක්ෂිත කිරීම ගැනත් කඩිනම් සහ විශ්වාසනීය වැඩපිළිවෙලක් හදන්න අපි ආණ්ඩුවට බල කරන්න ඕන. ඒ වගේම ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේම කේන්ද්‍ර කර ගත්ත අපේ එක්පොට් චේන් එකටත් මේක ලොකුවට බලපානවා, අපි ඒක ගැනත් ආණ්ඩුවේ ඇස් ඇරවන්න ඕන. මේ යුද්ධය කොච්චර කාලයකට ඇදේවිද දන්නෙත් නෑ. ඒ නිසා අපි මේව ගැන විකල්ප හොයන්න වේවි.” එහෙම කියමින් විපක්ෂ නායක සජිත් කතාව ආරම්භ කළේ ය.
ඉදිරියේ දී අර්බුදයක් ආවොත්...?
“ අනිත් එක, තෙල් අර්බුදයක් ඒවි කියලා අපි බොරුවට ජනතාව බය කරන්න ගියේ නෑ. ඒක ඇත්තට ම හොඳ දෙයක්, මට කීප දෙනෙක් ම කිව්වා ආණ්ඩුව විපක්ෂයේ හිටියනම් අද ප්‍රෙස් 10 විතර තියලා රට අවුස්සලා කියලා. අපේ අය කිසිම කෙනෙක් ඒකට ගියේ නෑ. ඒ ගැන මට ගොඩක් සතුටුයි.” එහෙම කියපු සජිත්, අවධාරණය කළේ…” අපි බලාගෙන ඉමු මේක ආණ්ඩුව කළමණාකරනය කරගන්න හැටි. රටේ තෙල් තියෙනවා කියලා ආණ්ඩුවම කියනවා. එහෙම නම් ඉදිරියේදී අර්බුදයක් ආවොත් ඒ අයගේ නොහැකියාව.”
ආණ්ඩුව බොර දියේ මාළු බෑම
මේ කතාවට ඊට පස්සේ එකතු වුනේ දයාසිරි ජයසේකර ය.
” විපක්ෂ නායකතුමා ඒත් දැන් ආණ්ඩුව බොරදියේ මාළු බෑමකට සෙට් වෙන්න හදන්නේ, බාල ගල්අඟුරු ගෙනල්ල වෙච්ච පාඩුවත්, ඒ නිසා මදිවෙන විදුලි හදන්න ඩීසල් බලාගාරවලට ගෙවන්න යන වියදමත් , මේ මැදපෙරදිග අර්බුදය පිට දාලා ජනතාව ගේ පොකට් එකෙන් පිට් පොකට් ගහන්න වගේ හදන්නේ. මොක ද පැට්රෝලියම් සභාපති කියනවා තෙල් මිල වැඩිකරන්න වෙනවලු. දවස් 35 ගෙන්නපු තෙල් තියෙනවා නම් මොකටද වැඩි කරන්නේ...? මාර්තු 01 වෙනිදා වැඩි කළෙත් පරණ තෙල්ම තමයි.”
ආණ්ඩුව දැන් කරන්න හදන්නේ මොකක් ද...?
ඒ කතාවටම එකතු වෙච්ච මුජිබර් මන්ත්‍රීවරයා කියලා තිබුණේ…,” බාල ගල්අඟුරු ගෙනල්ල රටට පාඩුව කළේ ආණ්ඩුව, ඒත් ඒක තෙල් මිලෙන්, විදුලි බිලෙන්, ගෑස් මිලෙන්, අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලින් පාරිභෝගිකයෙන් අයකර ගන්න යන සීන් එකක් තියෙන්නේ. මේ ගැන රටම වහාම දැනුවත් කරන්න ඕන, හොරකම් කරලා, බාල ගල්අඟුරු ගෙනල්ල වෙච්ච පාඩුව ජනතාවගෙන් අයකර ගන්නේ නෑ කිව්වට ඒක එහෙම තමයි ආණ්ඩුව දැන් කරන්න හදන්නේ.”
මේ සියළු කාරණා ගැන රටම දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට තීරණය කරමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් කළේ ය.


