දවස් 10කින් පමණ ගල් අඟුරු නැවක් ඇවිත් නෑ - පුබුදු ජයගොඩ

දවස් 10කින් පමණ ගල් අඟුරු නැවක් ඇවිත් නෑ - පුබුදු ජයගොඩ

මෙම වසරේ විදුලි ජනනය සඳහා ගල් අඟුරු නැව් 25ක් සැපයීමට ටෙන්ඩරය ලබාගත් ඉන්දියානු සමාගම මේ දක්වා ලංකාවට රැගෙනවිත් ඇත්තේ නැව් 13ක් පමණක් බවත්, අවසන් දින 10ක පමණ කාලය තුළ එක නැවක්වත් පැමිණ නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (08) කොළඹ පැවති උද්ඝෝෂණයක් අතරතුර මාධ්‍ය අමතමිනි.

එම අවස්ථාවේ දී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජාගොඩ...

දැනටමත් ලංකාවේ ගල් අඟුරු සැපයුම අවදානමක

''2026 වසර සඳහා ගල් අඟුරු නැව් 25ක් සැපයීමට ටෙන්ඩරය ලබාගත් ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් නම් ඉන්දියානු සමාගම සමස්ත ගල් අඟුරු සැපයුම අවදානමේ හෙළා තිබෙන බව පෙනී යනවා. අප්‍රේල් මස අවසානයට පෙර ගල් අඟුරු නැව් 25ක් ගොඩබෑම අවසන් කළ යුතු වුවත් මේ දක්වා ඔවුන් ලංකාවට රැගෙනවිත් ඇත්තේ නැව් 13ක් පමණයි. මාර්තු මස පළමුවන සතියේ එක නැවක්වත් පැමිණ නැති බව අපට දැන ගන්නට ලැබී තිබෙනවා. මේ වනවිට දින දහයකින් පමණ ගල් අඟුරු නැව් පැමිණ නෑ. අප්‍රේල් අවසානයේ බස්නාහිර මුහුදේ වාරකන් ආරම්භ වන නිසා දැනටමත් ලංකාවේ ගල් අඟුරු සැපයුම අවදානමක තියෙන්නේ. මහජන උපයෝගිතා කොමිසම පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා ක්‍රමෝපාය සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවට භාරදුන් වාර්තාවට අනුව නැව් 5ක් අඩු වුවත් අගෝස්තු මාසයේ සිට විදුලි කප්පාදුවක් කරන්න වෙනවා. නැතිනම් අධික මිලට ඩීසල් තාප විදුලි බලාගාරවලින් විදුලිය ජනනය කරන්න වෙනවා. මේ තත්ත්වය තුළ ගොඩබාන නැව් ප්‍රමාණය අපේක්ෂා කළ ගණනට වඩා පහක් නොව, ඊටත් අඩුවිය හැකියි. බරපතළ බලශක්ති අර්බුදයක අවදානම බැහැර කළ නොහැකියි.

ආණ්ඩුව රයිඩෙන්ට් කෙම්ෆර් නම් ඉන්දියානු සමාගමට ටෙන්ඩරය ලබා දුන්නේ ටෙන්ඩර් පිරිවිතර පවා වෙනස් කරමින්. ටෙන්ඩර් කැඳවීම මාස 4ක් පමණ ප්‍රමාද කළේ එම සමාගමට ලියාපදිංචි වීමට කාලය

ලංකාවේ ගල් අඟුරු සැපයුම තමන්ට බාරදෙන ලෙස ඉන්දියාව බලපෑම් කළාද?

ලබාදීමටදැයි සැක පහළ වෙනවා. 2025 සැප්තැම්බර් 15 අවසන් කළ ටෙන්ඩරය ප්‍රදානය කිරීමට නොවැම්බර් මුල දක්වා බලා සිටියේ මේ සමාගමට වාසි සැලසෙන සේ කාර්‍යසාධක බැඳුම්කරය සොයා ගැනීමට ඉඩ දීමටදැයි සැක මතුවී තිබෙනවා. අවසානයේ දී එම සමාගම ගෙනා ගල් අඟුරු ප්‍රමිතියෙන් තොරයි. ඒ නිසා රජයට විශාල අලාභයක් සිදුවුණා. දැන් අවශ්‍ය කාලසීමාව තුළ ගල් අඟුරු සැපයුම කළ නොහැකි බවත් සමාගම ඔප්පු කරමින් සිටිනවා. මෙතරම් ක්‍රමවේද උල්ලංඝනය කරමින් මෙම සමාගමටම ගල් අඟුරු ටෙන්ඩරය ලබා දුන්නේ ඇයි? පළමු නැව ප්‍රමිතියෙන් තොර බවට වාර්තා නිකුත් වෙද්දීත් ඇමතිවරයා සමාගම ආරක්ෂා කිරීමට උත්සාහ ගත්තේ ඇයි? නැව් කිහිපයක්ම ප්‍රමිතියෙන් බාල වෙද්දීත් ටෙන්ඩරය අවලංගු නොකළේ ඇයි? මාස ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්නය විමසද්දීත් මේ ගැන විමර්ශනයක් පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු නොකළේ ඇයි? සතියකට වඩා වැඩි කාලයක් සැපයුම නතර කර තිබියදීත් සමාගමට එරෙහිව නීතිමය පියවර නොගන්නේ ඇයි? එලෙස වන්නේ මේ පිටුපස විශාල වංචාවක් තිබුණු නිසාද, නැතිනම් ලංකාවේ ගල් අඟුරු සැපයුම තමන්ට බාරදෙන ලෙස ඉන්දියාව බලපෑම් කළාද? මේ සම්බන්ධයෙන් ඉන්දියාව සමග අනාවරණය නොකළ හොර ගිවිසුමක් තිබේද? ආණ්ඩුව මේ ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුයි.

හැම පාඩුවකම වන්දිය ගෙවිය යුත්තේ විදුලි පාරිභෝගිකයා

මෙම සමාගම ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් සඳහා ප්‍රවාහන ගාස්තුව ලෙස ඩොලර් 15ක් පොරොන්දුවී තිබුණා. නමුත් පසුගිය සතියේ සිට යුද්ධය නිසා නැව් ගාස්තු තවත් ඩොලර් 11 කින් පමණ ඉහළ ගියා. මේ හේතුව නිසා සමාගම ගල් අඟුරු සැපයීම සඳහා වන ගිවිසුම කඩ කරමින් සැපයුමෙන් ඉවත් වෙන්න හදනවාද කියා සොයා බැලිය යුතුයි. එවැන්නකින් විශාල අර්බුදයක් ඇති වෙනවා. අන්තිමට මේ හැම පාඩුවකම වන්දිය ගෙවන්න වෙන්නේ විදුලි පාරිභෝගිකයාට. ජනතාවට. දැනටමත් ආණ්ඩුව දැවිතෙල් සඳහා ටෙන්ඩර් කැඳවීමක් කර තිබෙනවා. ඒ අධික මිලකට ඩීසල් විදුලිය නිපදවීමට ද යන ප්‍රශ්නයට ආණ්ඩුව පිළිතුරු දිය යුතුයි. මේ සියලු අක්‍රමිකතාවල අලාභය පියවීමට, විදුලි ගාස්තු වැඩි කර ජනතාව මත බර පැටවීමට උත්සාහ කරනවානම් ජනතාව ගෙන් ප්‍රතික්ෂේප වන බවත් ආණ්ඩුව සිහි තබා ගත යුතුයි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න