සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කරන ගමනක් වෙනුවෙන් පෙළ ගැසෙමු - විපක්ෂ නායක

සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කරන ගමනක් වෙනුවෙන් පෙළ ගැසෙමු - විපක්ෂ නායක

ජාත්‍යන්තර කාන්තා දිනය සමරණ මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන් අවබෝධ කර ගන්නේ කාන්තා අයිතිය එක් දිනයකට පමණක් සැමරීම ක්‍රියාවට නැංවීම සීමා නොකර පැය 24ම දවස් 365ම කාන්තා අයිතිය ජයග්‍රහණය කරවන රටක් බවට අප රට පත් කිරීමට අප සියලු දෙනාම කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ජගත් කාන්තා දිනය නිමිති කර ගෙන අද සමගි ජන බලවේගය සහ සමගි වනිතා බලවේගය විසින් කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේ දී සංවිධානය කරන ලද ජාත්‍යන්තර කාන්තා දින සැමරුම සමග එක්වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

විශේෂ වනිතා කාර්ය සාධන බළකායක්

''කතාව ක්‍රියාවට නැංවීම වැදගත් බවට බොහෝ දෙනා ඉල්ලීම් කළ නිසා සමගි ජන බලවේගය අද දින විශේෂ වනිතා කාර්ය සාධන බළකායක් ස්ථාපිත කරනවා. මේ වනිතා කාර්ය සාධන බළකාය සමගි වනිතා බලවේගයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කර එදා බීජිං ප්‍රකාශනය හරහා කාන්තා අයිතිය සුරක්ෂිත කළා සේ ශ්‍රී ලාංකේය කාන්තාවට අහිමි වූ අයිතිය පුරුෂාධිපත්‍යයට යටපත් වී බොහෝ අවස්ථාවල දී බොහෝ ස්ථානවල හිංසනයට ලක් වෙමින් පීඩාවට ලක්වෙමින් අසරණභාවයට ලක් වෙමින් ඇති මොහොතක සැබවින්ම කාන්තා අයිතිය ක්‍රියාවෙන් සුරක්ෂා කරන්න කැප වෙන බවට ප්‍රතිඥා දෙනවා.

විශ්වවිද්‍යාල සිසුවියන්ට සජබෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක්

‘ජන නළ ලිය’ වැඩසටහන ඔස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරත වන සිසුවියන් හට විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව ක්‍රමයක් අද සිට ආරම්භ කරනවා. කාන්තා සුබසාධනය කාන්තා කේන්ද්‍රීය සංවර්ධනය ජීවනෝපාය නගාසිටුවීම ඇතුළු වැඩපිළිවෙළ රට පුරා ග්‍රාම නිලධාරී වසම් 14008ක සහ කුඩා ගම් 50967ක ඉදිරි වසර 2 තුළ ක්‍රියාත්මක කිරීමට බිම් මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා. කාන්තාවන් ගේ අයිතිවාසිකම් සේම නිවසේ දී, වැඩබිමේ දී, මහමග දී, හිංසනයට ලක්වන කාන්තාවන්ට රැකවරණය ආරක්ෂාව ලබා දීමත් සමග කාන්තාවගේ අයිතිය සමග සමපාත වන ළමා අයිතිය සුරක්ෂා වන ගමනක් ද ක්‍රියාත්මක කරනවා.

අද 'ගෙදර බුදුන් අම්මා' අසරණ වෙලා

මාතෘ හා ළමා මන්දපෝෂණය අද උග්‍ර වෙමින් පවතින මොහොතක වසර කිහිපයක් තුළ අප දැවැන්ත ඛේදවාචක හතරකට මුහුණ දුන්නා. මේ ඛේදවාචක හතර නිසා රටේ දුප්පත්කම වැඩි වී, ආදායම් මාර්ග අහිමි වී, ජීවනෝපාය කඩා වැටී, ගෘහණියගේ අයිතිය විනාශ වී තිබෙනවා. අද වන විට අප මැදපෙරදිග සිට ව්‍යාප්ත වෙමින් පවතින යුද්ධයට පවා මුහුණ දෙමින් සිටිනවා. මේ යුද්ධය නිසා අභියෝග රැසක් නිර්මාණය වී ආර්ථික වර්ධනයට, ජීවනෝපායට ගෘහයට ලැබෙන ආදායම් පහළ වැටීම නිසා අසරණ වන්නේ ගෙදර බුදුන් අම්මා.

ගෙදර වැඩි වගකීම කාන්තාවට

පුරුෂ පාර්ශ්වය සමග සංසන්දනය කරන විට වඩාත් වගකීමෙන් දරුවන් රැකබලා ගෙන, පවුලේ උන්නතිය වෙනුවෙන් ලැබෙන මුදල් ඉතිරි කර, පවුල ශක්තිමත් කරන්න ආයෝජනය කරමින් වැදගත් කාර්ය ඉටු කරන්නේ කාන්තාව යි. මේ යුදමය තත්ත්වය තුළ දුප්පත්කම ඉහළ යෑමේ අවදානමක් තිබෙනවා; ජීවනෝපාය පවා අහිමිවීමේ අවදානමක් තිබෙනවා. ඊට අමතරව බඩුමිල වැඩි වී, ජීවන බර වැඩි වීමේ බරපතළ ඛෙදවාචකයක් ඇති වී අම්මා ඇතුළු කාන්තාවන් අභියෝග රැසකට මුහුණ දෙනවා.

සැබවින් ම කාන්තාව සවිබල ගන්වන ගමනක් යමු

මේ අවස්ථාවේදී අප සත්‍ය යථාර්ථය අවබෝධ කර ගෙන දැනුම උපයෝගී කර ගෙන ප්‍රශ්වලට විසදුම් සැපයිය යුතු යි. සිහින ලෝකවලින් මිදී කටකතාවලට සවන් නොදී බොරු සෝබනකාරි නාට්‍යවලින් වින්දනයක් ලබනවා වෙනුවට රටේ සියලුම කාන්තාව ඉදිරියේ, රට ඉදිරියේ, ජනතාව ඉදිරියේ නිර්මාණය වන ප්‍රශ්න දෙස බැලිය යුතු යි; මේ ප්‍රශ්නවලට විසදුම් සැපයිය යුතු යි. නූගත්කම තුරන් කරන්න පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය යි. එහි දී නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමත්, සක්වල වැඩසටහන හරහා ඩිජිටල් යුගය හා ඩිජිටල් සාක්ෂරතාව දැරියන් උදෙසා ලබා දිය යුතු යි. නව දැනුම ලබා දීමේ වැඩපිළිවෙළ පවා ක්‍රියාත්මක කරන්න ඉදිරියේදී කටයුතු කරනවා.

ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලින් තෙරපුණු කාන්තාවට සජබෙන් නීති සහාය

ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලින් තෙරපී සිටින, ණය බර තුළින් පීඩනයට අසහනයට ලක්ව තිබෙන කාන්තාව මුදවා ගැනීමට පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය යි. ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලින් තෙරපී පොඩිවී ඇති කාන්තා අයිතියට ශක්තියක් ලබා දීමට නොමිලේ නීති සහන වැඩසටහන් ආරම්භ කර, නෛතික වශයෙන් කාන්තාව වෙනුවෙන් පෙනී සිට, කාන්තාවට අවශ්‍ය අභිවෘද්ධිය ලබා දීමට පෙනී සිටිනවා.

ආර්ථව දරිද්‍රතාව වෙනුවෙන් එදා අපි නැගූ හඬට අද වටිනාකමක්

සමගි ජන වනිතා බලවේගය යනු සත්‍ය කතා කරන්න බය නැති බලවේගයක්. යථාර්ථය පහදා දී ඔ්නෑ එපා කම් ගැන නොබියව කතා කරනවා. එදා ආර්ථව දරිද්‍රතාව ගැන කතා කරන විට මඩ ගැසූ අය පවා දැන් ඒ යථාර්ථය පිළිගෙන මේ ආර්ථව දරිද්‍රතාව තුරන් කර කාන්තා සෞඛ්‍ය ප්‍රශ්නවලට විසදුම් සපයන්න ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම තේරුම් ගෙන තිබෙනවා. සමගි ජන බලවේගය එවැනි ජයග්‍රහණයක් අත්කර ගත්තේ ඇත්ත සත්‍ය කතා කිරීම නිසා. ආර්ථව දරිද්‍රතාව තුරන් කරන්න සුළු පරිමාණ පාසල කේන්ද්‍ර කර ගෙන මේ වැඩසටහන් ආරම්භ කළත් රටේ ම කාන්තාවන් එකතු කර ගෙන සියලු දෙනාට නොමිලේ ඒ ශක්තිය ලබා දෙන ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරියටත් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් හඬ නගනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න