ජාත්‍යන්තර කාන්තා දිනයට වසර 115යි; ඒත් කෝ අපිට නිදහස...? - හේමමාලි අබේරත්න

ජාත්‍යන්තර කාන්තා දිනයට වසර 115යි; ඒත් කෝ අපිට නිදහස...? - හේමමාලි අබේරත්න

සියලු අයිතිවාසිකම් ලැබුණ ද තවමත් මේ ලෝකයේ කාන්තාවන්ට: මනුෂ්‍යයෙක් ලෙස, කාන්තාවක් ලෙස, ජීවත් වීමේ අයිතිය ලැබී තිබේ ද යන ප්‍රශ්නය 115වන ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ ද අසන්නට සිදුව තිබේ යැයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපරයේ සංවිධායක, ලේකම් හේමමාලි අබේරත්න පැවසුවා ය.

ඇය මෙම අදහස් පළ කළේ මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්, නිදහස උදෙසා කාන්තා ව්‍යාපරයේ කාන්තා දින සැමරුම "සමාජවාදය ස්ත්‍රී විමුක්තියේ සැබෑ මාවතයි " මැයෙන් අද (08) කොළඹ නව නගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණය අමතමිනි.

එම සම්මන්ත්‍රණයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ හේමමාලි අබේරත්න...

අදටත් මේ සමාජය කාන්තාවන්ට සලකන්නේ දෙවෙනි තැනට දාලා

"මේ එළඹිලා තියෙන්නේ 115 වෙනි ජාත්‍යන්තර කාන්තා දිනය. සමාජවාදය ස්ත්‍රී විමුතියේ සැබෑ මාවත කියලා විස්වාස කරමින් තමයි අපි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විදිහට අද දවසේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්න සූදානම් වෙන්නේ. අපි දන්නවා කාන්තා විමුක්තිය වෙනුවෙන් මේ මානව ඉතිහාසය පුරාවටම කාන්තාවෝ සටන් වැදුණා. අපි දන්නවා කාන්තාවගේ අධ්‍යාපන අයිතිය, ගබ්සාවේ අයිතිය, ප්‍රජනන අයිතිය, රැකියාවේ අයිතිය වගේම තමයි ඡන්ද අයිතිය පවා අපි දිනාගත්තේ සටන් කිරීම් ඇතුළෙ. නමුත් මේ සියලු අයිතිවාසිකම් ලැබුණත් තවමත් මේ ලෝකේ කාන්තාවන්ට මනුෂ්‍යයෙක් විදිහට කාන්තාවක් විදිහට ජීවත් වීමේ අයිතිය ලැබිලා තියනවද කියන ප්‍රශ්නය මේ 115 වෙනි ජාත්‍යන්තර කාන්තා දිනය දවසෙත් අපිට අහන්න වෙලා. මොකක්ද ඒකට හේතුව? මේ සමාජයේ ජීවත් වෙනකොට අපි බහුතරයක් දෙනා කැමති නෑ සම්මතය බිඳින්න. අපිව කොටු කරල තියෙන අපිව හිර කරගෙන ඉන්න මේ සමාජ සම්මතය, සමාජ සංස්කෘතිය, ආගමික කොන්දේසි මේවගෙන් නිදහස් වෙන්න අපි තවමත් සූදානම් නැහැ. අදටත් මේ සමාජය කාන්තාවන්ට සලකන්නේ දෙවෙනි තැනට දාලා. කාන්තාවන් නැවත නැවත පීඩාවට පත් වෙන්නේ මේ විදිහට ඇයව සමාජයේ දෙවෙනි තැනට දාලා තියෙන නිසා, ලෝකේ සියලුම කාන්තාවන්ට පුරුෂයන්ට යටත් වෙලා ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඒ නිසා. හැබැයි ඒ සමාජ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යයි කියලා කාන්තාවෝ හිතන්නේ නැහැ. ඒක කාන්තාවෝ විදිහට අපි කරගන්න බරපතළ වැරද්දක්. මේ සාමජයේ කාන්තාවට අයිති දරුවෝ වදන එක සහ දරුවෝ හදන එක විතරයි කියලා ඔබ හිතන තාක් කල්, කාන්තාවන්ට තියෙන්නේ කුස්සියේ උයන පිහන එක විතරයි කියලා ඔබ හිතන තාක් කල් අපිට වෙන්නේ තැළිලා පොඩි වෙලා ජීවත් වෙන්න තමයි. ඒ නිසා දැන්වත් අපි කාන්තා පීඩනයට එරෙහිව නැගී සිටිය යුතුයි. මේ ලෝකේ කාන්තාවටත් මනුෂ්‍යයෙක් වසයෙන් ජීවත් වෙන්න අයිතිය තියනවා කියලා අපි හඬ නගලා කියන්න ඕන.

කාන්තාව ගේ ඇත්ත සතුරා කවුද...?

අද ගොඩක් අය කියනවා කාන්තාව අද රැකියා කරනවා, වෙළඳපොල තුළ ඔවුන්ට අවස්ථාවක් තියනවා, ඒ නිසා කාන්තාවන්ට විමුක්තිය ලැබිලා කියලා. හැබැයි ඇත්ත කතාව ඒක නෙවෙයි. මේ ධනවාදී ආර්ථික ක්‍රමය කාන්තාව වැඩ බිමට ගෙනාවේ ලාභ ශ්‍රමය නිසා. අද ඒ ඇත්ත හංගලා මහාපරිමාණ ප්‍රාග්ධනයක් හිමි සමාගම් ලක්ෂ ගණනක් කාන්තාවන් ගේ ශ්‍රමය සූරාකමින් ඉන්නවා. අද කාන්තාව කියන්නේ මේ සමාජය ඇතුළෙ වෙළඳ භාණ්ඩයක්. අපිව මේ ක්‍රමය ඇතුළේ නැවත නැවත විකිණෙනවා. හැබැයි මේ ක්‍රමය විසින් අපිට අපේ සතුරා විදිහට පෙන්වන්නේ පිරිමියාව. හැබැයි අපේ ඇත්ත සතුරා වෙන්නේ පිරිමියා නෙවෙයි. මේ පවතින දේශපානලන ආර්ථික ක්‍රමය තමයි අපේ සැබෑ සතුරා. කාන්තාව පීඩාවට පත් කරන්නේ, ඇයගේ ශ්‍රමය මංකොල්ල කන්නේ, මේ පවතින නවලිබරල් ආර්ථික ක්‍රමය විසින්. ඒ නිසා නවලිබරල් ආර්ථික ක්‍රමයට එරෙහිව සටනක් තමයි අද අපි ඉදිරියේ තියෙන්නේ. මේ දේශපානලන ආර්ථික ක්‍රමය පෙරළීමෙන් තොරව කාන්තා විමුක්තියක් ගැන කතා කරලා තේරුමක් නැහැ.

අපි නිර්මාණය කළ යුත්තේ මහපොළොවේ අරගලය විස්වාස කරන කාන්තාවක්

අද ලංකාවෙ විවිධ දේශපානලන පක්ෂ කාන්තා දින සැමරුම් තියනවා. හැබැයි අපි දන්නවා ගැහැනු අපි එක මිටට කියලා වර්තාමන ජාතික ජන බලවේග ආණ්ඩුවත් කාන්තාවෝ සංවිධානය කරපු විදිහ. මීට කලින් හිටපු ආණ්ඩුත් මේ විදිහටම කාන්තාවෝ එකතු කළා. හැබැයි ඒ සියලු මැදිහත්වීම් තිබුණේ තමන්ගේ ඡන්ද ගොඩ ලොකු කරගන්න කල් විතරයි. ඡන්දෙන් පස්සේ කාන්තාවන් වෙනුවෙන් එක දශමයක මැදිහත්වීමක් ඔය කාගෙන්වත් වුණේ නැහැ. අපේ ඡන්දෙ අරගෙන පාර්ලිමේන්තුවට ගිය අය ම තමයි අන්තිමට අපිව පීඩාවට පත් කරන අපේ ආරක්ෂාව අහිමි කරන අණපනත් සම්මත කළේ. ඒ නිසා දැන් මේ රැවටිල්ල ඇති. මැතිවරණ දේශපානලනය විස්වාස කරමින් යන කාන්තාවක් වෙනුවට මහපොළොවේ අරගලය විස්වාස කරන කාන්තාවක් අපි නිර්මාණය කරන්න ඕන. අසාධාරණයක් පීඩාවක් වෙන ඕනම වෙලාවක බයේ ගුළිවෙලා ඉන්නවා වෙනුවට ඉදිරියට පැනලා තමන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන කාන්තාවක් අපි නිර්මාණය කරන්න ඕන. අන්න ඒ කියන සටන්කාමී ගැහැනිය නිර්මාණය කිරීම සඳහා වන මැදිහත් වීම නිදහස උදෙසා කාන්තා ව්‍යාපරය විදිහට අපි කරමින් ඉන්නවා. ඒ සඳහා එකතුවෙන්න කියලා අපි මේ රටේ සියලු කාන්තාවන්ට, සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න