QR කේතය නිසා ආර්ථික ගැටලු රැසක් නිර්මාණය විය හැකියි - විපක්ෂ නායක

QR කේතය නිසා ආර්ථික ගැටලු රැසක් නිර්මාණය විය හැකියි - විපක්ෂ නායක

QR කේතය නිකුත් කර ඇත්තේ තෙල් කෝටාවක් ලෙස නිකුත් කිරීමට‌ නිසා අනිවාර්යෙන් ම තෙල් පාරි‌භෝජනය සීමා වී, කලකිරීම වැඩි වී ආර්ථික ගැටලු රැසක් නිර්මාණය වන්නේ යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (15) කෑගල්ල ආසනයේ සංවිධායක ප්‍රියංක සේනානායක මහතා ගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ගැටලුවක් නැත්නම් QR මොකට ද...?

මේ මොහොත වන විට අප රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටිනවා. නැවත වරක් QR කේතය භාවිතයට පැමිණ තිබෙනවා. මේ QR කේතය නිකුත් කර ඇත්තේ තෙල් කෝටාවක් ලෙස නිකුත් කිරීමට‌ නිසා අනිවාර්යෙන්ම තෙල් පාරි‌භෝජනය සීමා වී කලකිරීම වැඩි වී ආර්ථික ප්‍රශ්න ගැටලු රැසක් නිර්මාණය වෙනවා. මේ අවස්ථාවේ විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ජනතාවට අසහනයක් නිර්මාණය වී ඇති අර්බුධයෙන් පටු වාසි ගන්නෙ නැහැ. මෙවැනි තත්ත්වයක් නිර්මාණය වන බවට දිගින් දිගටම පැවසූ අවස්ථාවේ රජයේ මැති ඇමතිවරු හිනා වී උපහාසයට නැගුවා. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී හෝර්මූස් සමුද්‍ර සන්ධියේ නිර්මාණය වන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පැවසූ අවස්ථාවේ විදේශ ඇමතිවරයාට අනුව නම් අප රටට කිසිදු ගැටලුවක් නැහැ. ඇත්තටම අප රටට ගැටලුවක් නැත්නම් මේ ආකාරයට QR කේත නිකුත් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එදා තමා මේ ගැන කියන විට රජය ඒවා නොසලකා හැරියා.

මොනවා නැතත් හිනමානත්වය යි උද්ධච්චකමයි තියෙනවා

ආණ්ඩුව මේවාට උසුළු විසුළු කරන විට රටේ සුළු පිරිසක් මේවා උපහාසයට නැගූවත් එසේ උපහාස කර දින 12ක් යන්නටත් පෙර QR කේතය නිකුත් කරන්න රජයට සිදු වුණා. ඇමෙරිකා එක්සත් ජනපදය රුසියායවට පැනවූ සම්බාධකවලට දින 30ක විරාමයක් දෙන බවට පැවසූ අවස්ථාවේ අප රට රුසියාව සමග කතා කර අප රටට අවශ්‍ය තෙල් ලබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන්න කිව්වත් ඒ දවස්වල එය නොකර අමාරුවේ වැටුණු පසු දින ගණනාවකට පසු දැන් රුසියානු තානාපතිවරයා හමුවෙන්න රජය කටයුතු කර තිබෙනවා. මේ රජය හැමදෙයක්ම කරන්නේ ප්‍රමාද වෙලා. විපක්ෂය ලබා දෙන හොඳ උපදෙසක්වත් පිළිනොගන්නා තැනට රජයේ හීනමානකම සහ උද්දච්චකම ලොකු ලොකු වෙලා.

උද්ධච්ච ආණ්ඩුකරණයෙන් නම් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ

මේ රජයට රාජ්‍ය පාලනය තේරෙන්නෙ නැහැ. අනුර කුමාර ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ජනතාව අන්දවා, රට අන්දවා, කිසිදු සූදානමක් නොමැතිව අද ඔබ මොබ යමින් ඉබි ගමනින් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරනවා. මේ රජයට පෙර සැලසුමක් නැහැ. සාර්ථක රාජ්‍ය පාලනයකට නම් අවදානමකට මුහුණ දිය හැකි ක්‍රමෝපායන් නිර්මාණය කළ යුතු යි. Strategic Scenario planning (උපායමාර්ගික අවස්ථා සැලසුම් කිරීම) එකක්වත් රජයට නැහැ. රජය දන්නේ මේවා කියන විට සමාජ මාධ්‍ය හරහා පහර ගැහීම පමණයි. Strategic Scenario planning යනු ක්‍රමෝපායිකව රටකට මුහුණ දෙන්න ඇති සියලු ම අවස්ථා සියලු ම අවදානම් සහිත අවස්ථා ගැන වැඩපිළිවෙළක් සකස් කිරීම වුවත් මීට මාස ගණනාවකට පෙර ඇමෙරිකාව සහ ඊශ්‍රාලය එකට එකතු වීම ඉරානයට බෝම්බ දානවිට යුද්ධයක පෙර නිමිත රජය දැක්කෙ නැහැ. විපක්ෂය මේවා ගැන පූර්වයෙන් අනතුරු ඇගවූවා. IMF ගිවිසුම්වල රටටත් ජනතාවටත් අහිතකර කොටස් පවා වෙනස් කරන්න කිව්වත් මේ රජය කිසිවක් නොකර සිටියා. දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න කියූ විට ‘අනේ ප්ලීස් එපා’ යැයි ජනාධිපතිවරයා කිව්වා. අනේ පීල්ස් එපා යැයි කියන ආණ්ඩුකරණය තුළ ජනතාව නැත්තටම නැතිව යනවා.

ඊයේ, නිපදවිය යුතු විදුලිය මෙගවොට් 135කින් අඩු වෙලා

ආර්ථික ප්‍රශ්න රටේ තිබිය දී රජය ගෙන්වා ඇත්තේ බාල ගල් අඟරු. ඊයේ පවා නිපදවිය යුතු විදුලිය නිපදවීම මෙගවොට් 135කින් අඩු වෙලා. බලාගාරයෙ දත්ත අනුව රජය ගෙන ආ ගල් අගුරු සියල්ල බාල බවත් රජයට නම් මේවා ප්‍රශ්න නොමැති වුවත් ගල් අගුරු බලාගාරයේ අවශ්‍ය විදුලිය නිපදවිය නොහැකි නිසා ඉන්ධන බලාගාර වෙත යා යුතු බවත් මේ ගල් අගුරු වංචාව නිසා අවසානයේ දුක් විදින්න සිදුව ඇත්තේ විදුලි පාරිභෝගිකයාට බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

පොහොරවලටත් QR...?

ඊට අමතරව බාල බෙහෙත් පවා රටට ගෙන එනවා. මේ යන විදිහට ගොවියා ගේ පොහොරවලටත් QR කේත දමාවිදෝ කියා බයක් ඇති වෙනවා. මේ රජයේ අක්‍රමවත් අකාර්යක්ෂම දූෂිත රාජ්‍ය පාලනයට එරෙහිව ජනතාව පෙළ ගැස්විය යුතු යි. පරිසර හානිය ජාතික ආරක්ෂාව ඇතුළු සෑම සිදුවීමක් ගැන ම ජනතාවට හෙළිදරව් කළේ ජනතාවට සත්‍ය අවබෝධ කරවීමට. කාන්තාවන්ගේ ආර්ථව දරිද්‍රතාව ගැන කතා කරද්දි එයට පවා මඩ ගැසූ රජය අද වන විට ආර්ථව දරිද්‍රතාවට විරුද්ධව වැඩපිළිවෙළක් අවශ්‍ය බවට පිළිගෙන තිබෙනවා. කොරෝනා සමයේ පවා විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ඇත්ත කතා කරන විට විහිළු කළ අය ම අද ඇත්ත පිළිඅරගෙන. මේ රජය කරන්නේ ඇන්දවිල්ල, බොරුව, කයිවාරුව සහ රංගනය විතරයි. රජය දන්නේ සමාජ මාධ්‍ය හරහා බොරුව ප්‍රචාරය කිරීම වුවත් සත්‍යයට කෙදිනක හෝ මුහුණ දිය යුතු යි. මේ රජය දන්නේ වැඩ කරන්න නෙවෙයි... දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළි ගැනීම විතරයි.

දේශපාලන පළිගැනීම් කරාට රටේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ

දේශපාලන ප්‍රතිවාදීන් ගෙන් පළි ගත්තා කියා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නෙ නැහැ. රජයට මේ ගැටලුවලට උත්තර නැහැ. පහුගිය කාලයේ සූරයෝ වීරයෝ කියූ රාජ්‍ය නායකයෝ ජන බලයට බිය වී ගෙදර ගිය බව මේ රජය අමතක නොකළ යුතු යි. මිනිසා ජීවත් කරවීම මිනිසා ගේ පරම යුතුකම නිසා ඒ යුතුකම සහ වගකීම වෙනුවෙන් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය සූදානම්."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න