මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සඳහා අත්‍යවශ්‍ය කරුණක් වන “අවුරුදු නැකත් සීට්ටුව” නිමවීම මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ගේ ඉල්ලීමක් පරිදි ආචාර්ය ජී. එම්. ගුණපාල ප්‍රමුඛ මේ රටේ සිටින ජ්‍යෙෂ්ඨතම ජ්‍යොතිර්වේදීන් පිරිසක ගේ සහභාගිත්වයෙන්, ඊයේ (14) උදේ පැපිලියාන සුනේත්‍රාදේවී මහ පිරිවෙන් විහාරස්ථානයේ පැවති විද්වත් සාකච්ඡාවක දී සිදු කළහ.
පෙර රජ සිරිත අනුව පැවත එන සම්ප්‍රදාය ගරු කරමින් මේ රටේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට අවශ්‍ය නැකැත් සහ චාරිත්‍ර වාරිත්‍ර නිමවා දෙන්නේ රජයේ සංස්කෘතික අමාත්‍යාංශය විසින් පත්කර අධීක්ෂණය කරනු ලබන, ප්‍රවීණ ජෝතිර්වේදීන්ගෙන් සැදුම් ලත් “රාජ්‍ය නැකැත් කමිටුව” නම් වූ විද්වත් කමිටුවක් විසින් වුවත් රජය මේ වන විටත් එවන් කමිටුවක් පත් කර නැත. එබැවින් මේ රටේ දේශීය සංස්කෘතිය සහ සභ්‍යත්වය ගරු කරන පාර්ශ්ව ගණනාවක් විසින් මේ සඳහා මැදිහත් වන්නැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ගෙන් කළ අයාචනයක් අනුව උන්වහන්සේ මෙම කටයුත්ත සංවිධානය කිරීමට මූලිකත්වය ගත්හ.
ඒ අනුව 14 වන සෙනසුරාදා උදෑසන සුබ මොහොතින් රැස්වී පිරිත් සච්ඡායනය කර ගැඹුරින් මේ පිළිබඳව සාකච්ඡා කර තර්ක විතර්ක කරමින් මේ වන විටත් “ඈපා පංචාංග ලිත, ලංකා පංචාංග ලිත, තිරසර පංචාංග ලිත” ආදී ලිත් කතුවරු හය දෙනෙක් විසින් නිමවා ඇති ලිත්වල නැකැත් සීට්ටුව ගෙන විමර්ශනය කර, එහි අඩංගු කරුණු “දෝෂ අවම බැවින්” එම නැකැත් සියල්ල මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද සඳහා භාවිත කිරීමට සුදුසු යැයි නිගමනය කර ඇත.
මෙම විද්වත් සභාවට රැස්වූ ඉහළම විද්වතාණන් වූ ආචාර්ය ජී. එම්. ගුණපාල පෙන්වා දුන්නේ රටක “සංස්කෘතිය” යනු රටක “හැදියාව” බැවින් එම හැදියාව මැනවින් අර්ථවත් කරන සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර පවත්වාගෙන යෑමේ දී මුළු රට ම එක ම වේලාවක් එක ම සිරිතක් නැකත් ලෙස අනුගමනය කළ යුතු බවයි.
දැනට විවිධ පාර්ශව සහ ගුරුකුල ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ මත පළ කර ඇතත්, විවිධ නැකැත් පත්‍ර සාදා සමාජය ව්‍යාකූල භාවයට පත් කර ඇතත්, මේ වන විට දෝෂ අවම නැකැත් සීට්ටුව නිමවා ඇත්තේ මේ රටේ අනාදිමත් කාලයක සිට එම යුතුකම ඉටු කිරීමේදී පුරෝගාමී වූ කීර්තිමත් පංචාංග ලිත් කතුවරු හය දෙනා බැවින් මෙම අවස්ථාවේ එම ලිත්වල අඩංගු නැකැත් පත්‍රය අනුගමනය කිරීම මුළු රටම පිළිගත යුතු බව ය. ඒ අනුව සාදන ලද නැකැත් සීට්ටුව විද්වත් ජ්‍යෝතිර්වේදීන් විසින් මහාචාර්ය අභයතිස්ස හිමිපාණන් වහන්සේට පිළිගන්වනු ලැබීමෙන් අනතුරුව උන්වහන්සේ එම නැකැත් පත්‍රය ප්‍රසිද්ධියට පත් කළේ මෙසේ ය.
ශක වර්ෂ 1948 හෙවත් ව්‍යවහාර වර්ෂ 2026 සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර මෙසේ ය.
1. නව සඳ බැලීමට
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20වන සිකුරාදා දිනය ද අභිනව සූර්ය වංශය සඳහා අප්‍රේල් මස 19වන ඉරිදා දිනය ද මැනැවි.
2. පරණ අවුරුද්ද සඳහා ස්නානයට
අප්‍රේල් මස 13වන සඳුදින දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙන් යෙදී වාසය මැනවි.
3. අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14වන අඟහරුවාදා පූර්ව භාග 09. 32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
4. පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14වන අඟහරුවාදා පූර්ව භාග 03. 08 සිට එදිනම අපර භාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 14වන අඟහරුවාදා පූර්ව භාග 03. 08ට පළමුව ආහාර පාන ගෙන සියලු ම වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 03. 08 සිට එදින අපරභාග තුනයි 03.56 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.
5. ආහාර පිසීම
අප්‍රේල් මස 14වන අඟහරුවාදා පූර්ව භාග 10.41ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා, කිරි බතක් ද, කැවිලි වර්ගයක් ද, දී කිරි, විලඳ පිළියෙළ කර ගැනීම මැනවි.
6. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14වන අඟහරුවාදා අපර භාග 12.05 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවය කිරීම මැනවි.
7. හිස තෙල් ගෑම
අප්‍රේල් මස 15වන බදාදා පූර්ව භාග 6.54 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොන් පත් ද තබා, පච්ච වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුශ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්ථානය කිරීම මැනවි.
8. රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 20වන සඳුදා පූර්ව භාග 06.27 ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් සහ එළකිරි මිශ්‍ර කැවිලි ද අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවි.
9. පැළ සිටුවීම
අප්‍රේල් මස 23වන බ්‍රහස්පතින්දා රන්වන් වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී පූර්ව භාග 11. 36 ට උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනැවි.
මෙම නැකැත් පත්‍රය සම්පාදනය සඳහා: පූජ්‍ය තිස්සමහරාමයේ සෝරත හිමි, පූජ්‍ය මුදුන්මංකඩ විජයවංශ හිම, පූජ්‍ය බියගම චන්ද්‍රානන්ද හිමි, ජී. එම්. ගුණපාල, නුමින්ද ශාන්තසිරි ද සිල්වා, චමත් කොතලාවල, ප්‍රශාන්ත් මළවිගේ, එච්. පී. ධර්මසිරි, රන්ජන් එළියනායක, ඉන්දික ඒ. ඈපා සෙනවිරත්නත්න, රොෂාන් චානක තිසේරා, සරත් මහීපාල, දුමින්ද ගුණවර්ධන, ගාමිණි ඩයස් යාපා, කැලුම් ගුණතිලක සහ සරච්චන්ද බෝතලාගේ ඇතුළු ගිහි පැවිදි විද්වත් ජ්‍යෝතිර්වේදීන් පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජ්‍යෝතිර්වේදී රොෂාන් චානක තිසේරා මහතා පෙන්වා දුන්නේ 2024 වසරේ විසුරුවා හරින ලද රාජ්‍ය නැකැත් කමිටුව වත්මන් පුනරුද නිරාගමික රජය විසින් ද තවමත් ක්‍රියාත්මක කර නොමැති බවයි.
“එක රටකට එක නැකතක් කියලා මෙන්න මේ ඉතාමත් වටිනා භාරධූර කාර්යභාරය මුලින්ම පටන් ගත්තේ අපේ රටේ හිටපු විශිෂ්ටතම සංස්කෘතික ඇමතිවරයකු වන විජමු ලොකු බණ්ඩාර මහත්මයා. ඉන්පසු පැවති සෑම රජයක් ම මේ නැකත් කමිටුව පත් කිරීම හා නැකැත් සීට්ටු සෑදීමේ කටයුත්ත රජයේ වගකීමක් ලෙස ඉමහත් ගෞරවාදරයෙන් යුතුව ඉටු කරනු ලැබුවා. හැබැයි 2024 අවුරුද්දේදී අපේ රටේ ජෝතිර්වේදීන් දෙකට බෙදිලා අවුරුද්ද සඳහා නැකැත් චාරිත්‍ර දෙකක් ඉදිරිපත් කිරීමෙන් ලොකු අර්බුදයක් ඇති වුණා. එදා මේ රටේ සංස්කෘතික ඇමතිවරයා ලෙස කටයුතු කරපු විදුර වික්‍රමනායක මහත්මයා ඒ සම්බන්ධයෙන් ඉතා දුර්වල පිළිවෙතක් අනුගමනය කරමින් කටයුතු කළා වගේම, නැකැත් කමිටුව විසුරුවා හැරියා. දැන් අද තාවෙන්නත් අපේ රටට හරි හමන් නැකත් කමිටුවක් පිහිටුවලා නෑ.
වර්තමානයේත් ගුරුකුල දෙකක් නැකැත් දෙකක් ගෙනල්ල සමාජයට ඉදිරිපත් කරලා සමාජය ව්‍යාකූලත්වයට පත්කරලා තියෙනවා. සංස්කෘතික ඇමැතිතුමා, ජනාධිපතිතුමා, අගමැතිතුමිය නිරාගමික වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ ජනතාව නිරාගමික නෑ. ඒගොල්ලන්ට අවුරුදු කන්න නැකැත් පත්‍රයක් වුවමනයි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහත්තයත් කියලා තියෙනවා ජනතාවට කැමති නැකතක් අනුගමනය කරන්න කියලා. එහෙම හරියන්නේ නෑ. මේ රටේ සිංහල බෞද්ධ ජනතාව වගේ ම හින්දුන් වගේ ම අනෙකුත් ආගම් අදහන සමහර අයත් මේ රටේ එක වෙලාවට එක විදියට එක චාරිත්‍ර වාරිත්‍රයක් අනුගමනය කරමින් අවුරුදු කන්න බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට එක නැකැත් පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කිරීම රජයේ වගකීමක්. රජය ඒ වගකීම පැහැර හැරීම නිසා අපේ මහා සංඝරත්නය, විශේෂයෙන්ම සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරාධිපති අපේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හාමුදුරුවෝ මැදිහත් වෙලා මේ කටයුත්ත ඉටු කිරීම ගැන අපි සතුටට පත්වෙලා ඉන්නවා. එම නිසා උන්වහන්සේට මේ සත්කාරය ඉටු කිරීමට අපි ඒකරාශී කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙන්නඕන.”
එසේ කියමින් අදහස් දක්වන විට මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ මෙම කටයුත්ත අපි දේශපාලන මතවාදවලින් තොරව ඉටු කිරීමේ වැදගත්කමක් ඇති බවයි.
අවසානයේ ජෝතිර්වේදී කැලුම් ගුණතිලක මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ එක්තරා ප්‍රවෘත්ති නාලිකාවක් සහ දේශපාලන පක්ෂයක් මෙම කටයුත්ත තමන් ගේ මැදිහත්වීමෙන් යුතුව සිදුකරන ලද බවට ප්‍රවෘත්ති රට පුරා ප්‍රසිද්ධ කරන්නට උත්සාහ දැරුවත් ජෝතිර්වේදී විද්වත් කමිටුවක් හැටියට අප ඒකරාශී වී මෙම කටයුත්ත, මෙම ජාතික වගකීම ඉටු කරනු ලැබුවේ පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි මිස කිසිදු දේශපාලන පක්ෂයක හෝ නාලිකාවක ඉල්ලීමක් ඉටු කිරීමට නොවන බවයි.
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේ ද අප කරන ලද විමසීමකදී කැලුම් ගුණතිලක ගේ එම අදහස අනුමත කරනු ලැබූහ.


