මාලිමා රජයට කිසිදු Scenario planning එකක් නැහැ - විපක්ෂ නායක

මාලිමා රජයට කිසිදු Scenario planning එකක් නැහැ - විපක්ෂ නායක

අද වැනි දිනක අප රට මහා භයංකාර අභියෝග රැසකට මුහුණ දෙන මොහොතක ජනාධිපතිවරයා හෝ අගමැතිවරිය පාර්ලිමේන්තුවට රටේ ජනතාවට ඇතිව තිබෙන අර්බුධයට මුහුණ දෙන ආකාරය ගැන ප්‍රකාශයක් කළ යුතු වුවත් එවැනි දෙයක් ඉටු නොකර මේ අර්බුධවලට සුදානම් වෙන ආකාරය ගැන උපදෙස් දෙන බවත් අමෙරිකාව සහ ඊශ්‍රාලය එකට එකතු වී ඉරානයට ප්‍රහාර දියත් කළේ 2025 ජුනි මාසයේ බවත් ඒ ප්‍රහාරත් සමග සූදානම් වී ක්‍රමෝපායික සැලසුම් සකස් කළ යුතු වුවත් මේ රජයට කිසිදු Scenario planning (අවස්ථා සැලසුම් කිරීම) එකක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (17) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

එම අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් පළ කළ විපක්ෂ නායකවරයා...

''වත්මන් රජයට Scenario planning නොමැති බවට දිට්වා සුළි කුණාටුවට මුහුණ දුන් ආකාරයෙන් පෙන්නුම් කළා. මේ තරම් බරපතළ තත්ත්වයකට රට මුහුණ දෙන මොහොතේ පාර්ලිමේන්තුව රැස් නොකරන්න රජය තීරණය කළා. මීට පෙර පාර්ලිමේන්තු සැසිවාරයක හෝර්මුස් සමුද්‍ර සන්ධිය වැසී යාම නිසා රටට අභියෝග එල්ල වන නිසා සැලසුම් සකස් කර විකල්ප ක්‍රමවේදවලට යොමු වන ලෙස පැවසුවත් විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ අවස්ථාවේ පැවසූ ආකාරයට මේ සමුද්‍ර සන්ධිය වැසී යාම අප රටට බාධාවක් නොවන බවත් අප රටේ තෙල් සැපයුමට බාධාවක් නොවන බවට පැවසුවා. එදා කියූ ඒ කතාව අදත් කියනවා ද කියා ප්‍රශ්න කරනවා.

උද්දච්ච රාජ්‍ය පාලනයකට ආයුෂ අඩුයි

එදා ම ඇමෙරිකාව රුසියාවට දමා ඇති තෙල් සම්බන්ධ සම්බාධක දින 30කට ඉවත් කරන නිසා රුසියාව සමග සාකච්ඡා කර අප රටට තෙල් ලබා ගන්න අවශ්‍ය ගිවිසුම්වලට යොමු වෙන්න කිව්වත් ඒ දවස්වල ඒ කතා අහන් නැතිව සතියක් ගිය පසු රුසියානු තානාපතිවරයා හමුවුණා. විපක්ෂය කියන හොඳ යෝජනා පිළි නොගැනීමටත් ඇත්ත කතා කරන විට ඒවාට ඇහුම්කන් නොදීමත් මේ රජයේ උද්දදච්චකම. උද්දච්ච රාජ්‍ය පාලනයකට නම් ආයුෂ නැහැ.

බාල ගල් අඟුරු ඇණවුම් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් ද, නෙතන්යාහු ද...?

අද දිනත් අප රටේ බලශක්ති හා විදුලි සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට සෙසු රටවලටත් මේ බලපෑම එල්ල වන බව පවසනවා. නොරොච්චෝල බලාගාරයට ගල් අඟුරු ඇණවුම් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් නෙවෙයි. වත්මන් රජය බාල ගල් අඟුරු ගෙන්වීම නිසා 13 වැනිදා මෙගවොට් 130ක්, 14 වැනිදා 135ක්, 15 වැනිදා 132ක් සහ 16 වැනිදා මෙගවොට් 148ක් අඩුවෙන් විදුලිය නිෂ්පාදනය වුණා. මේ ප්‍රමාණය අඩුවීම නිසා ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගන්න සිදුවෙනවා. මෙසේ ඩීසල් බලාගාරවලට ඉන්ධන ලබා දෙන විට ජනතාවට අවශ්‍ය ඉන්ධන හිඟවී ජනතාව තවත් අසරණ වෙනවා.

විදුලි කප්පාදුව සිදු වන්නේ බාල ගල් අඟුරු නිසා

මහජන උපයෝගීතා කොමිසම් සභා වාර්තාව අනුව අප්‍රේල්, ජුනි සහ ජූලි යන මාස තුන උච්චතම අවස්ථාවේ විදුලි කප්පාදුවක් සිදුවන බවට සඳහන් වෙනවා. මේ කාලයේ නොරොච්චෝල බලාගාරයේ 1 සහ 2 ඒකක දින 25කට නඩත්තුවකට වහනවා. කෙරවලපිටිය හා කැලණිතිස්ස 2 බලාගාරය ද වහනවා. මේ විදුලි කප්පාදුව සිදු වන්නේ මැදපෙරදිග යුද්ධය නිසා නෙවෙයි; බාල ගල් අඟුරු නිසා.

මේ රජයට හරියට QR කේතයවත් දෙන්න බැරි වෙලා

උතුරේ යුද්ධය සහ දකුණේ භීෂණය තිබිය දී පවා, ගල්ෆ් යුද්ධය තිබිය දී පවා අප රට එදා එය නිසි පරිදි කළමනාකරණ කළා. එදා තෙල්වල හිගයක් තිබුණෙ නැහැ. සුභසාධනය පවා අඩුවක් තිබුණෙ නැහැ. ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතිය පවා ආරම්භ වුණා. එදා ඒ තිබූ කළමනාකරණය අද නැහැ. අද වන විට QR කේතයවත් හරියට නිකුත් කර ගන්න රජයට නොහැකි වෙලා. විකුණූ වාහනවලට අදාළව QR කේතය ලබා ගත නොහැකි යි. මේ ගැන ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තුවෙන් අවසර නැහැ.

ජනතාව සමග ඇති කර ගත් සමාජ ගිවිසුම ක්‍රියාත්මක කරන්න

මේ දෙන ඉන්ධන කෝටාව පවා ප්‍රමාණවත් නැහැ. අපේ රටේ ගොවියාට ධීවරයාට වෘත්තීයවේදීන්ට කර්මාන්තකරුවන්ට අත්‍යාවශ්‍ය සේවාවල සිටින අයට මේ නිසා ගැටලු රැසක් ඇතිව තිබෙනවා. සැබවින්ම කළ යුත්තේ ජනාධිපතිවරණ සමයේ කියූ ආකාරයට වරායේ ගොඩබාන ගානට තෙල් ලබා දී තෙල්වල ඇති බදු ඉවත් කිරිම යි. ජනතාව වරම දුන්නේ ඒකට. දැන්වත් මේ වරම උල්ලංඝනය නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. ජනතාව සමග ඇති කර ගත් සමාජ ගිවිසුම ක්‍රියාත්මක කරන්න. රටේ ජනතාව ගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඇති අවස්ථාව නැති නොකරන ලෙස ඉල්ලා සිටිනවා. ජනතාව ගේ පැත්තෙන් ගන්නා විසඳුම්වලට සහයෝගය දෙන නමුත් බාල ගල් අඟුරු නිසා සිදුවන හානියට විරුද්ධව පාරට බහිනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න