සණස සංවර්ධන බැංකුවේ ගනුදෙනුකරුවන් ගේ ගැටලු ජනපති ගේ අවධානයට

සණස සංවර්ධන බැංකුවේ ගනුදෙනුකරුවන් ගේ ගැටලු ජනපති ගේ අවධානයට

සණස සංවර්ධන බැංකුවේ ගනුදෙනුකරුවන් ණය ආපසු ගෙවීමේ දී මුහුණ දෙන ගැටලු සහ ඔවුන් ඉදිරිපත් කර ඇති දුක්ගැනවිලි සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (20) 2.30 ට කොළඹ 01 පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් (මහජන සම්බන්ධතා) ඩී. ගමගේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වෙත සහ සණස සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

ණය පියවීමේ ක්‍රියාවලියේ දී ගනුදෙනුකරුවන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා සහ ඔවුන් ගේ පැමිණිලි පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂිත ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි සනස සංවර්ධන බැංකුව (SDB) විසින් ක්‍රියාත්මක කරනු ලබන අසාධාරණ පොලී ප්‍රතිපත්ති සහ ණය කාලසීමාවන් අත්තනෝමතික ලෙස දීර්ඝ කිරීමට එරෙහිව පසුගිය මාර්තු 13වනි දා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.

එම විරෝධතාවය "ණය අසාධාරණයට ලක්වූවන්ගේ සංගමය" විසින් මෙහෙයවනු ලැබූ අතර, ඒ සඳහා කොළඹ, ගාල්ල, මාතර, මහනුවර, මාතලේ, කුරුණෑගල, අනුරාධපුරය සහ පොළොන්නරුව ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පිරිස් සහභාගී වූහ.

සණස සංවර්ධන බැංකුව අනෙකුත් බැංකුවලට සාපේක්ෂව ඉතා ඉහළ පොලී අනුපාත අය කිරීම සහ ණය පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත් කරමින් ණය ගෙවීමේ කාලසීමා සීමාවකින් තොරව දීර්ඝ කිරීම පදනම් කරගනිමින් මෙම විරෝධතාවය පැවැත්විණි.

මේ හේතුවෙන් ණය ලබාගත් පාරිභෝගිකයන් 29000ක පිරිසක් දැඩි මූල්‍යමය සහ මානසික පීඩනයකට ලක්ව සිටින බව එම ණය අසාධාරණයට ලක්වූවන්ගේ සංගමයේ සභාපති එච්. ජී. රසික බන්දු කුමාර පෙන්වා දෙයි.

එම විරෝධතාවෙන් අනතුරුව සණස සංවර්ධන බැංකුවේ ගනුදෙනුකරුවන් ණය ආපසු ගෙවීමේ දී මුහුණ දෙන ගැටලු සහ ඔවුන් ඉදිරිපත් කර ඇති දුක්ගැනවිලි සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න