ලෝක මුඛ දිනය අදට (20) යෙදී ඇති අතර, එම දිනය සැමැරීම නිමිත්තෙන් වූ මෙරට ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි ගේ ප්‍රධානත්වයෙන් අද (20) ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි.
ලෝක මුඛ සෞඛ්‍ය දිනය වාර්ෂිකව මාර්තු 20 වන දින සමරන අතර, මෙවර පැවැත් වූ ශ්‍රී ලංකාවේ 13වන ජාතික මුඛ සෞඛ්‍ය සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ලෝක දන්ත වෛද්‍ය සම්මේලනය, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සහ Haleon සමාගම එක්ව සංවිධානය කළේ ය.
"සතුටු මුවයි - සුවැති දිවියයි" (A Happy Mouth Is … A Happy Life) යන තේමාව ඔස්සේ පාසල් දරුවන් සහ මහජනතාව මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීම, නොමිලේ දන්ත සායන පැවැත්වීම, සහ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම දන්ත සංවේදීතා පරික්ෂණ ද මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි කියා සිටියේ මෙරට දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් ගත කරමින් සිටින බවත්, නමුත් මෙරට දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය ජනතාවට සාධාරණ ප්‍රවේශයන් ලබාදිමට තවමත් අපොහොසත්ව ඇති බව යි.
ජනතාවට මුඛ සෞඛ්‍ය සේවා ලබාගැනීම සඳහා ප්‍රවේශයට සාධාරණ අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කාරණා රජය ගනු ලබන බව ද පැවසූ අමාත්‍යවරයා මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 50 කට ආසන්න ප්‍රමාණයක් දන්ත වෛද්‍ය සායනයක ගොස් නැති බව වාර්තා වන බව ද පෙන්වා දුන්නේ ය.
රෝග ආසාදන ව ශරීරයට බලපෑම් එල්ලවන විට රෝගී අවස්ථාවක් ලෙස සලකා ජනතාව ප්‍රතිකාර සඳහා යොමුවන බවත්, ජනතාවට සෞඛ්‍ය සම්බන්ධ වූ පණිවුඩ රැගෙන යෑමට අපොහොසත්වීම ඊට හේතු වී ඇති බවත්, නවීන තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කළ ද සමස්ත මාධ්‍ය ජාලය සරල සෞඛ්‍ය පණිවුඩ ජනතාව තුළ ජනගත කිරීමට අපොහොසත් ව ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසී ය.
ලෝකයේ මුඛ සෞඛ්‍ය සේවාවේ ඉහළීන් ම සිටින රටක් ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධ වූ සරල පණිවුඩ ජනතාවට අතරට ගෙන යෑමේ වගකීම සියලු දෙනා සතු වන බවත්, නිරෝගී පුද්ගලයකුට තමන් ගේ දන්ත සෞඛ්‍ය පිළිබඳ යම් උපදෙසක් රෝගී තත්ත්ව උත්සන්න වීමට පෙර ලබාගැනීමට සහ මුල් අවස්ථාවේ ම රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා එම පුද්ගලයා පිළිගැනීමට සෞඛ්‍ය පද්ධතිය සූදානම් විය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේ ය.
ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය කටයුතු සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා වෛද්‍ය චන්දන ගජනායක, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක, ලෝක මුඛ සෞඛ්‍ය දින කමිටුවේ සභාපති වෛද්‍ය නිලන්ත රත්නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය දන්ත වෛද්‍ය පීඨය නියෝජනය කරමින් මහාචාර්ය හේමන්ත අමරසිංහ, පේරාදෙණිය විශ්ව විද්‍යාලීය දන්ත වෛද්‍ය පීඨය නියෝජනය කරමින් මහාචාර්ය බී.එම්.එස්.කේ බන්නැහැක, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය රවීප්‍රිය රණවක යන අය සහ ශ්‍රී ජයවර්ධනපුර දන්ත පීඨයේ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය


